Sunday, September 20, 2020

2020 පොත් ප්‍රදර්ශනයට මාත් ගියා

 හැම අවුරුද්දෙම ගිහිපු පොත් ප්‍රදර්ශනේ මේ සැරේ නොගියොත් හරි නැති නිසා මාත් ගියා ඔන්න. යන්න කලින් කියල තිබුන විදියට ඔන්ලයින් රෙජිස්ටර් වෙලා ඊමේල් එකත් අරන් ගියා. හැබැයි කොතනින් වත් චෙක් කලේ නම් නෑ. බොරුවට පෝලිම් නම් තිබුනා මීටරේ පරතරේ තියාගන්න කියල. හැබැයි පිටිපස්සේ එකා හිටියේ කරේ.

අපේ මිනිස්සුන්ට පුදුම අමාරුවක් තියෙනවනේ පෝලිම් පනින්න. සිරිමාවෝ එක ඇතුලට යන්න තිබුන පෝලිමේ මම යද්දී නම් ගොඩක් අය හිටියේ නෑ. හැබැයි මිනිස්සු මගේ ඉස්සරහින් දන්නේ නැති ගානට ඇවිල්ල පෝලිමට එකතු වෙලා පස්ස බලන්නේ නැතිව හිටිය. ඒක මේ විනාඩි 5ක් වත් තිබුන පෝලිමක් නෙවෙයි හැබැයි අපේ මිනිස්සුන්ට පෝලිමක මැදින් පැනල ඉක්මනට ඇතුලට ගියා කියන තෘප්තිය හරි වටිනවා ඇති. මම හිතුව මේ වැඩේ කරන්නේ වයසක අය විතරයි කියල. ඒ අයට නම් හිටගෙන ඉන්න අමාරු නිසා කියල කියන්න පුළුවන්. කෙල්ලෝ හතර පස්දෙනෙක් පිරිවරාගෙන උස මහත කුකුලෙකුත් මගේ ඉස්සරහින් පෝලිමට ආවනේ. 

මම සාමාන්‍යයෙන් පොත් ප්‍රදර්ශනේට යන්නේ රෑ 7න් පස්සේ. එතකොට මිනිස්සු උදේ ඉදන් ඇවිදලා ඇවිදලා ගෙදර යන වෙලාව නිසා තෙරපෙනවා අඩුයි. නිදහසේ ඇවිදින්න පුළුවන්. හැබැයි මේ සැරේ නම් කාලෙකට පස්සේ සැහෙන සෙනගක් මම දැක්ක. මම ගියේ සෙනසුරාදා දවසක නිසාද මන්දා වෙනදට වඩා මට සෙනග ඉන්නවා කියල නම් හිතුන. 

ගොඩක් පොත් කඩවල් පොඩි ස්ටෝල් වලට මාරු වෙලා තියෙනවා වගේ තේරුණා. දයාවංශ ජයකොඩි එක පොඩි කඩයක් තිබුනේ.  හැම තැනම මාස්ක් දාන්න කියල බෝඩ් නම් ගහල තිබුන. මාස්ක් නැත්නම් කඩවල්  ඇතුලට ගන්නත් එපා කියල තිබුන.  හැබැයි ගොඩක් කඩවල් වල වැඩ කරන උන් මාස්ක් ගලවාගෙන  හිටියේ.

ෆොටෝ ටිකකුත් ගත්ත මතක් වෙන්න.  හැබැයි වැඩිය ගන්න ගියේ නෑ මම ෆොටෝ ගන්න ෆෝන් එක ඉස්සුවම ඉන්න මිනිස්සුන්ටත් ලැජ්ජයි මටත් නිකන් ලැජ්ජයි වගේ. අන්තිමේ වතුර මල ගාවට ගිහින් මම ෆොටෝ ටිකක් ගත්ත. කරුවලේ නිසා ඒ වැඩේ හරි ගියේ නෑ. 

අහ් මේ සැරේ මැගී  නුඩ්ල්ස් එක රු 100 කරලා තිබුන. වෙනදට නම් කනවා.  මේ සැරේ කෑම බීම මුකුත් ගත්තේ නෑ. යන්න කලින් බඩ පිරෙන්න කාල බීලා ගියා. 









Monday, September 14, 2020

මාර්ග නීති කෝලම




ප්‍රමුඛතා මංතීරු නීතියට පින් සිද්ද වෙන්න වෙනදට විනාඩි තිහෙන් එන ගමන අද පැය එකහමාරකුයි විනාඩි තිහකට පස්සේ යන්තම් ඔෆිස් එකට ආව. සමහරු එද්දී දහය පහු උනා. 
පුදුම සතුටක් දැනෙන්නේ. බස් එකේ මම හිත හිත ආවේ ලංකාවේ දේශපාලනේ විතරක් නෙවෙයි උඩ ඉන්න තීරණ ගන්න රජයේ නිලධාරිනුත් ගොන් හරක් කියල හිත හිත. සමහර විට ටික දවසක් යද්දී මේකට පුරුදු වෙලා ආයිත් ට්‍රැෆික් එක අඩු වෙයි. නීති දැම්මාට වරදක් නැත. පිස්සු බල්ලෝ වගේ එලවන බස් ටික නිසා මුළු රථවාහන පද්දතියම අවුල් වෙනවා කියන එක මටත් තේරෙනවා. හැබැයි ගොන් හරක් වගේ නීති දාන්න කලින් යටිතල පහසුකම් සහ පොදු ප්‍රවාහන සේවාව මීට වඩා ගොඩක් දියුණු කළා නම් ඔය නීති මෙච්චර අමාරුවෙන් ක්‍රියාත්මක කරන්න දගලන්න ඕනෙත් නෑ. මිනිස්සුන්ට මේ වගේ දැනෙන එකකුත් නෑ.

හිතන්න දවසකට කොළඹට ලක්ෂ ගානක් වාහන එනවා. මම හිතන්නේ සියට අසුවක් අයගෙන් පෞද්ගලික වාහනෙන් එන්නේ තමන් විතරයි. එක පුද්ගලයට එක වාහනේ ගානේ කොළඹට එනකොට ට්‍රැෆික් එකක් එනවා තමයි. එහෙම එන්නේ ඇයි ?

සල්ලි තියෙන මිනිස්සු බස් වල තෙරපිලා රස්තියාදු වෙලා දාඩිය දාගෙන එන්න කැමති නෑ. සල්ලි නැතත් ඔෆිස් එකට දාඩිය දාගෙන එන්න බැරි නිසා වාහනෙන් එන අයත් ඉන්නවා. මම දන්නා සමහර රජයේ සේවකයෝ ඉන්නවා ත්‍රිවිල් එකක් එලවාගෙන වැඩට එන. එතකොට මෙතන ප්‍රශ්නේ මාර්ග නීති වලද? 

මෙතන තියෙන්නේ chain reaction එකක්.  ඒ කියන්නේ එක දෙයක් නිසා දම්වැල වගේ එකට බැදිච්ච ප්‍රශ්න ගොඩක් හැදිලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. 

උදාහරණයක් විදියට- 
  1. උදේට අමාරුවෙන් වැඩට යන්න බෑ.
  2. වාහනෙන් එනවා.
  3. වාහන වැඩි වෙනවා
  4. මාර්ග නීති කැඩෙනවා
  5. මාර්ග අනතුරු වැඩි වෙනවා
  6. ට්‍රැෆික් වැඩි වෙනවා
  7. ට්‍රැෆික් එකේ ඉඳල සල්ලි නාස්ති වෙනවා 

මේ ඔක්කොම එකට බැදිච්ච දේවල්. මේකට බෙහෙත් කරන්න ඕන මැදින් නෙවෙයි මුලට. මුලට බෙහෙත දුන්නොත් එකත් chain  reaction  එකක් වෙනවා 

  1. බස් වල හොදට වැඩි වෙලා ඒසී එකේ ඔෆිස් යන්න පුළුවන් 
  2. වාහනෙන් එන පිරිස අඩු වෙනවා
  3. එන වාහන අඩු වෙනවා
  4. තද බදේ අඩු වෙනවා
  5. ඉක්මනට යන්න පුළුවන් වෙනවා
  6. මාර්ග නීති කැඩීම් අඩු වෙනවා
  7. අනතුරු අඩු වෙනවා
  8. තදබදය අඩු නිසා තෙල් වියදම අඩු වෙනවා

මේ සරල දේ තේරුම් අරන් හොදට වාඩි වෙලා යන්න පුළුවන් බස් සහ දුම්රිය සේවාවන් දියුණු කළොත් විතරයි මේක හදන්න පුළුවන්. එහෙම නැතිව හිසේ ඇම්මට කොට්ටෙ මාරු කරලා වැඩක් නෑ.

මේක තේරුම් ගන්න නිලධාරීන්ට බැහැ. තේරුම් ගන්න නිලධාරීන්ට ක්‍රියාත්මක කරන්න බැහැ.



Friday, September 4, 2020

මට ගන්න ඕන ලෝකේ හොදම ෆෝන් එක



මේ පොස්ට් එකත් කලින් පොස්ට් එකට ලගින් යනවා. ඒ විතරක් නෙවෙයි ගොඩක් අයට රිදෙයි.

 මිනිස්සු දුරකතන ගන්න මහා විශාල මුදලක් ගෙවනවා කියල ආයිත් කියන්න දෙයක් නැහැනේ? මම දැකපු දෙයක් තමයි මිනිස්සු  ලක්ෂ ගණන් දීලා ෆෝන් ගන්නවා, කිසිම ලෝබ කමක් නැතිව. හැබැයි අතේ සතේ නැති වෙනකොට සල්ලි නෑ කියා කියා ආණ්ඩුවටයි රස්සවටයි බැන බැන ඉන්නවා. 

මේ මිනිස්සු කොච්චර මෝඩද කියල මට තේරුම් ගන්නත් බෑ. මේ මෝඩකම් දකිනකොට දරා ගන්නත් බෑ. මිනිස්සු අදුරගන්නේ නෑ තමන්ගේ අවශ්‍යතාව මොකක්ද කියල. ඒ අවශ්‍යතාවට හරියන වියදම් කරන්න පුළුවන් සීමාව ගැන හිතන්නෙත් නෑ. මගේ වටේ මම දකින ගොඩක් අය ලග තියෙන දුරකතන ලක්ෂෙ පන්නපු ඒවා. හැබැයි ඒ ලක්ෂ ගානක් දීල ගන්න ෆෝන් එකෙන් කරන්නේ facebook  යන එක විතරයි. facebook යන්න ඕන නම් රුපියල් පහළොස්දාහේ ෆෝන් එකක් ගත්තත් ඇතිනේ. 

එතකොට ඇයි එච්චර ගානක් දීල ෆෝන් ගන්නේ ?

තමන්ගේ තත්වේ පෙන්නන්න, 

අනිත් අයට වඩා උඩින් යන්න, 

අනිත් මිනිස්සුත් ගන්න නිසා, 

හැබැයි මේ ගන්න. හොදම ගොන් කතාව තමයි, හිත හදාගන්න කියනවා " මේක තමයි හොදම ෆෝන් එක කියල" හොදම කියන දේ සාපේක්ෂයි. කෙනෙක් කැමරාවට හොදයි කියයි තව කෙනෙක් display colours වලට හොදයි කියයි. තව කෙනෙක් වේගෙන් වැඩ කරන්න පුළුවන් එකට හොදයි කියයි. 

රුපියල් විසි තිස්දාහේ පඩි ගන්න එවුනුත් බලන්නේ ලක්ෂෙ පන්නපු අයි ෆෝන් ගන්න. මට නම් තේරෙන්නේ නෑ. සල්ලි ඒ ගානට හම්බ කරනවා නම් ඉතිරි කරලත් තියෙනවා නම් ගත්තට වරදක් නෑ. එත් ගන්නේ කොහොමද ලෝන් ගහල. 

හරි එහෙම ගත්ත කියමු. දැන් බයයි කැඩිලා යයි කියල. දානවා scrren guard එකක් ඊට පස්සේ වටේ ප්ලාස්ටික් කවරයක්. ඔන්න ඔය දෙක දැම්මම අර ලක්ෂ එකහමාරේ ෆෝන් එකේ පෙනුමයි රුපියල් පහළොස්දාහේ පෙනුමයි දෙකම එකයි. බොහොම අමාරුවෙන් ලංවෙලා බැලුවොත් ඔන්න හොයාගන්න පුළුවන්.

මේ ෆෝන් ලක්ෂ ගණන් මිල ඉහල යන්න හේතු වලින් එකක් තමයි සයිස් එක පොඩියට හදන්න. අපේ ගොන් වහන්සේලා සයිස් එක පොඩියට හදපු නිසා ඒකට වැඩිපුර ගානක් ගෙවල ආයිත් පත සයිස්  කවරයක් එහෙම දාල ලොකු කර ගන්නවා. 

මම දන්නා සමහරු ඉන්නවා හැම අවුරුද්දෙම එන අලුත් model එක ගන්න උණ තියන ගොන්නු. වාණිජ ලෝකේ අතරමන් වෙලා මෝඩ වෙලා කියන්නේ ආයිත් ගොඩ ගන්නම බෑ. කිව්වට තේරෙන්නෙත් නෑ. එච්චරටම ඔලුවේ මැටි.

දැන් ඉතින් ඕව ගත්ත අයට මේක කියවල හිත රිද්දගන්න එපා. mobile software engineer කෙනෙක් විදියට අවුරුදු පහකට එහා අත්දැකීමෙන් මම කියන්නේ. කොච්චර ගාන වැඩි උනත් ෆොන් එකකට කරන්න පුළුවන් දේ සීමාවක් පන්නල යන්න බෑ. සාමාන්‍යයෙන් රූ 50000 ට වගේ තියෙන ෆෝන් එකකත් තියෙන්නේ ලක්ෂ ගානක ෆෝන් එකේ තියෙන ඒ දේම තමයි. ලොකු ඒවාට වෙනම OS එන්නේ නෑ. එක්කෝ android නැත්නම් apple.

කැමරා පහක විතර ෆෝන් එකක් අරන් ගන්න ෆොටෝ එක මෙගාබයිට් 10 ක් විතර. ඒක මොකද කරන්නේ බැනර් හදල එල්ලනවද නෑ නේ. දානවා facebook. එතකොට මොකද වෙන්නේ facebook එකෙන් අර තඩි ෆොටෝ එක කොලිටි අඩු කරනවා කිලෝ බයිට් 400 ට වගේ. ඉතින් ලක්ෂ ගණන් ගෙවල වැඩක් තියෙනවද?

දැන් අලුතෙන් මනස්ගාතයක් තියෙනවා ෆෝන් එක විතරක් මදි එකට ඔරලෝසුවකුත් ගන්න ඕන කීයක් හරි එකතු කරලා. ඇයි වයර්ලස් ඉයර් බඩ් දෙකකුත් ඕන.  ඒ දෙකේ එකතුව තව ලක්ෂයක් විතර. අමතක උනා වයර්ලස් චාජර් එකත් තියෙනවා. 

හැම අවුරුද්දෙම ලක්ෂ ගානක් දීල ෆෝන් අරන් උදේ හවස හිගන්නෙක් වගේ බස් එකේ තද වෙලා යන්නේ නැතිව සල්ලි කියක් හරි එකතු කරලා වහනයක් බැරි නම් බයික් එකක් ගනිල්ලා. බඩගින්නේ ඉන්නේ නැතිව පොඩ්ඩක් හොදට කාල බිලා හිටපල්ලා. මගුලට ඉතිරි කරපල්ලා. පොඩි එකෙක් ඉන්නවා නම් ඌට ඉතුරු කරපල්ලා. ක්‍රෙඩිට් කාඩ් වලින් ෆෝන් අරන් හැම බැන්කුවටම ණය නොවී ඉඳපල්ලා. 

ලෝකේ හොදම ෆෝන් එක නෙවෙයි, එදිනෙද වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එකක් ගනින්. හොරකම් කරත්, බස් එකේ මගදී නැති උනත් අපෝ ඕක මොකක්ද කියල අලුත් එකක් ගන්න හිත හදාගන්න පුළුවන්  විදියේ එකක් ගන්න.



Friday, August 28, 2020

ජංගම දුරකතනයක් මිලදී ගැනීමට පෙර - 2



මේ පෝස්ට් එක ලියන්න කලින් සෑහෙන දවස් අරන් හිතුවා මේ වගේ පෝස්ට් එකක් ලියන එකේ තේරුමක් තියෙනවද කියලා.  මේක කලින් පොස්ට් එකේ දෙවැනි කොටස.

කලින් පෝස්ට් එක ලිව්වේ දිගට මේ මාතෘකාව ගැන කතා කරනවා කියලා හිතලා ඒත් මට තේරුණා මේක තව මාස ගානකින් වලංගු නැතිව යනවා.ඒ නිසා හැමදාටම පොදු නැති දෙයක් ගැන  දිගට ලියන එක නවත්තන්න හිතුවා. 

මම කලින් පෝස්ට් එකේ කිව්වා ෆෝන් category තුනක් තියෙනවා කියලා. ඒ තුන වෙනස් වෙන්නේ නැතිව තියෙයි දිගටම. මෙන්න මේවා තමයි හැමදාම වලංගු වෙන දේවල්. ගන්න කලින් මේවා ගැන හිතන්න

  1. හොඳම ෆෝන් හොයන්න එපා. එහෙම එකක් නෑ. මොකක්ද හොඳම ෆෝන් එක කියන ඒක වැරදි ප්‍රශ්නයක්. ඒක අහන්න ඕන මගේ අතේ මෙච්චර ගානක් ෆෝන් එකකට වියදම් කරන්න පුළුවන් සල්ලි තියෙනවා මොකක්ද මේ ගානට ගන්න පුළුවන් හොඳ ෆෝන් එක. අවශ්‍යතාව අඳුරගෙන තමන්ගේ වියදමට හරි යන එකක් ගන්න.

  2.  ඔයා හෙන සල්ලි කාරයෙක් නෙවෙයි නම් high end ෆෝන් වලට යන්න එපා. සල්ලි අපරාදේ. ඒ ෆෝන් ඒකේ features වලින් බාගයක් සාමාන්‍ය කෙනෙක් පාවිච්චි කරන්නේ නැති බව හොදට බැලුවම තේරෙයි.  උදාහරණයක් විදියට ඉඳලා හිටල වත් ට්‍රිප් එකක් වත් යන්නේ නැති කෙනෙක් ෆොටෝ ගහන්නේ නැති කෙනෙක් කැමරා පහක විතර ෆෝන් එකක් ගන්න වියදම් කරන එක අපරාදේ. High end ෆෝන් ඇත්තටම ගහන්නේ කොම්පැණි අතර තමන්ගේ තත්වේ පෙන්නන්න. සල්ලි තියෙන මිනිස්සු ඒව පාවිච්චි කරන්නේ  තමන්ගේ තත්වේ පෙන්නන්න. එහෙම කෙනෙක්ට අද ෆෝන් එකක් අරන් හෙට විසික්කරන්න පුළුවන්. ඒත්  ඉතින් සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක් එහෙම ෆෝන් එකක් අරන් ඒ වියදම කවර් කරන්න මාස ගානක් හම්බ කරන ඕන. එහෙම එකක් ගත්තත් පරිස්සම් කරන්න තඩි cover එකක් දැම්මාම දකින කෙනෙක්ට සාමාන්‍ය ෆෝන් එකකින් වෙනස් කරලා අදුරන්න බැහැ. අනික ඒක නිකන් හරි කඩලා ගියොත් හදන්නත් වියදම වැඩි. හදන්න බැරි වුනොත් පාඩුව දරන්නත් අමාරුයි. ඒ වගේ ෆෝන් එකක් අරන් අවුරුදු ගානක් පරිස්සම් කර කර ඉන්නවාට වඩා හොදයි අඩු මිල ෆෝන් එකක් අරන් අවුරුද්දක් පාවිච්චි කරලා ඊළග අවුරුද්දේ එන අලුත්ම ෆෝන් එකකට මාරු වෙන එක. 

  3. අනිත් අයගෙන් උපදෙස් ගන්න එපා. ෆෝන් එකක් ගන්න ඕන මේ මේ දේවල් කරන්න කියන එක පුද්ගල අනුබද්ධ දෙයක්. හිතන්න game ගහන කෙනෙක්ගෙන් ෆොටෝ ගහන කෙනෙක් ඇහුවොත් මොකක්ද හොඳම ෆෝන් එක කියලා හරි උත්තරයක් ලැබෙන්නේ නෑ.

  4. තමන්ට ෆෝන් එකේ කරන්න ඕන මොනවද කියලා ලිස්ට් එකක් හදාගෙන ඒකට ගැලපෙන ෆෝන් එකක් ගන්න. Game ගහන කෙනෙක් නම් camera ගොඩක් තියෙන ෆොටෝ ගහන්නම හදපු ෆෝන් එකක් නැතිව හොඳ ram එකක් සහ GPU එකක් තියෙන ෆෝන් එකක් බලන්න.
     
  5. ෆෝන් එක mid range එකක් නම්  වටේ cover කරන්නේ නැතිව ඕන නම් screen guard එකක් දාගෙන ෆෝන් ඒකේ රියල් experience එක ගන්න. බර වැඩ කරන කෙනෙක් නම් එහෙම කලට කමක් නෑ. ගොඩක් හිනී ෆෝන් එකක් අරන් තඩි cover එකක් දැම්මාම පරණ කාලේ ගෙඩිය වගේ ටීවී එකක් අතේ අරන් යනවා වගේ. මීඩ් range ඒව ගණන් අඩු නිසා වැටිලා කඩලා ගියත් අලුත් එකක් ගන්න පුළුවන්. 

  6. ගන්න ෆෝන් වලට පණ වගේ ආදරේ කරන්න එපා. එකේ කිසිම තේරුමක් නෑ. Technology එක වෙනස් වෙලා අලුත් ඒව එළියට එනවා. ඒ නිසා ගන්න ෆෝන් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අරන් ටික කාලෙකින් අලුත් එකක් ගන්නවා කියලා හිතාගෙන පාවිච්චි කරන්න. 

  7. පුළුවන් තරම් OLED හරි AMOLED හරි ඩිස්ප්ලේ තියෙන ෆෝන් ගන්න. ඒවලින් ඇහැට පෙන්නේ ඇත්තම වර්ණ. LCD ඒව ගොඩක් ගණන් අඩුයි. ඒත් ඒවට අහු වෙන්නේ එපා. ඇස් වලටත් අමාරුයි. 
  8. තනියම Research කරන්න. https://www.gsmarena.com/ වගේ සයිට් වලට ගිහින් ෆෝන් අනිත් ඒවත් එක්ක compare කරලා බලන්න. 

  9. ෆෝන් එකක් inernet එක බලලා, ගන්නවා කියලා එක සැරේට තීරණය කරන්න එපා. දැන් කඩවල්  box වලින් එළියට අරන් බලන්න දෙන්නේ නැති නිසා showroom එකකට ගිහිල්ලා පොඩ්ඩක් අතපත ගාලා බලන්න.

  10. Camera වෙන් වැඩක් ගන්න හිතන කෙනෙක් නම් සෑහෙන හොයන්න ෆොටෝ quality එක ගැන. සමහර ෆෝන් තියෙනවා ලොකුවට කැමරා ගොඩක් සහ MP ගාන ලොකු උනාට quality එක අඩුවෙනවා. එහෙම වෙන්නේ ඇතුලේ chip ඒවා හොඳ නැති නිසා. Camera ගැන කතා කරන්න වෙනම පෝස්ට් එකක් ලියන්නම්.



Image by Foundry Co from Pixabay








Sunday, August 9, 2020

ජංගම දුරකතනයක් මිලදී ගැනීමට පෙර

ගොඩක් මිනිස්සු තම තමන්ගේ අතේ තියෙන ගානට වැඩියෙන් දුරකථන මිලදී ගැනීමට වියදම් කරනවා. එහෙම කරලා ලොකු ෆෝන් එකක් අරන් එකෙන් කරන්නේ මොනවද? facebook වගේ social  media එකකට යනවා ෆොටෝ ගහනවා නැත්නම් youtube  එකේ video  එකක් බලනවා. ඉඳල හිටලා එකෙක් ඉන්නවා game ගහන්නම ෆෝන් ගන්න අය. 

තව කොටසක් ඉන්නවා තමන්ගේ තත්වේ පෙන්නන්න සමාජේ කැපී පේන්න, මම පෝසත් කියල පෙන්නන්න අතේ සල්ලි ඔක්කොම වියදම් කරලා තඩි ෆෝන් ගන්නවා. හැබැයි ඇත්තම සල්ලි තියෙන මිනිස්සු පට්ට පරණ කබල් බොත්තම් ඔබන ෆෝන් තමයි පාවිච්චි කරන්නේ? සල්ලි නැතිව නෙවෙයි. එකක් තමයි එයාලට ඉක්මනට කෝල් එකක් ගන්න එක තමයි ප්‍රධානම දේ. අනික ෆෝන් එකේ game ගහන්න වෙලාවක් නෑ. ඒ හින්ද මොලේ කල්පනා කරලා තමන්ගේ අවශ්‍යතාවට හරියන ෆෝන් එක තමයි බිස්නස් කරන අය තෝරා ගන්නේ. ඒකනේ ඒ මිනිස්සු අපිට වඩා සල්ලි හම්බ කරන්නේ සහ ඉතිරි කරන්නේ.

අපිට මාර්කට් එකේ තියෙන දුරකථන මිල අනුව වර්ග තුනකට බෙදෙනවා. 

  1. low range 
  2. mid range
  3. high end

low end /low range කියන්නේ බොහොම පොඩි මිල අඩු ෆෝන් ජාති. SAMSUNG ,HUWAWEI, NOKIA වගේ අය විතරයි මේවා ගහන්නේ. බටන් ඔබන ඒවා සහ  android go කියන android os එකේම lite version එකක් එක්ක ආපු ෆෝන් ජාතිත් මේ ගණයටම වැටෙනවා. ගොඩක් අය රැවටිලා අරන් අමාරුවේ වැටෙනවා. මොකද හෙන ලස්සනට තිබුනට මේකෙන් ලොකු වැඩ කරන්න බෑ. අනික සමහර වෙලාවට ඇප් එන්නෙත් නෑ. 

mid range ෆෝන් තමයි ලෝකේ ගොඩක් විකිනෙන්නේ. මොකද සාමාන්‍යයෙන් කෙනෙක්ට දරන්න පුළුවන් ගානට මේවා තියෙන නිසා. 

high end ෆෝන් කියන්නේ තාක්ෂනය උපරිමෙන් දාල උපරිම ලස්සනට හදන ෆෝන්. ඒ වගේම උපරිමෙන් වියදම් කරන මිනිස්සුන්ට ගහන ඒවා. අපේ දුප්පත් රස්සාවල් කරන කොල්ලෝ කෙල්ලොත් මාස ගානක පඩි එකතු කරලා ගන්නවා. APPLE බ්‍රෑන්ඩ් එක කෙලින්ම ටාගට් කරන්නේ high end මාකට් එක. 

ෆෝන් එකක් ගන්න කලින් ගොඩක් යාලුවෝ මගෙන් අහනවා මොකක්ද හොද ෆෝන් එක කියල. මම එතකොට අහන්නේ අතේ වියදම් කරන්න පුළුවන් ගාන කීයද කියල. හොද ෆෝන් කියල දෙයක් නෑ. අද ෆෝන් එක හෙට හොද නෑ අලුත් එකක් ආවම. වියදම් කරන්න පුළුවන් ගාන අනුව අපිට කියන්න පුළුවන් ඒ මනුස්සය මොන range එකේ ෆෝන් ද හොයන්නේ කියල. අන්න ඒ ගාන කිව්වම මම අහන්නේ මොකක්ද අවශ්‍යතාවය කියල. ඒ අනුවයි ෆෝන් එක ගන්න ඕන.

මට පෙන්නේ හිතුවට වඩා මේ ලිපිය දිග වෙයි වගේ. මෙතනින් නවත්තල තව එකක් විදියට ඉතිරි ටික ලියන්නම්.


Image by Free-Photos from Pixabay

Tuesday, August 4, 2020

අසරණ ඡන්ද දායකයෝ



ලංකාවේ දේශපාලනය කියන්නේ තනිකර විහිළුවක්. ඒ විහිලුව බොරුව මිනිස්සු දන්නවා. ඒ දැන දැනත් මිනිස්සු ඡන්දේ දෙනවා. මිනිස්සු ඡන්ද දුන්නම ඔන්න කට්ටිය පාර්ලිමේන්තු ගිහින් කලින් හිටපු පක්ෂෙට බනිනවා. කලින් හිටපු අය කරපු දේවල් නිසා අපිට රට ගොඩ නගන්න බෑ කියල කියනවා. ඒ අතර මෙච්චර කල් බැන බැන ඉන්න එකෙක් විපක්ෂෙන් ආණ්ඩු පක්ෂෙට ඇවිල්ල අලුතෙන් ඉපදුනා වගේ කලින් හිටපු පක්ෂෙට බනිනවා. ආණ්ඩුව ගෙනියන්න සල්ලි නෑ කියල ඡන්දේ ඉවර උන ගමන් බදු මිල වැඩි කරනවා. රටින් ණය ගන්නවා. අරගෙන තම තමන්ගේ පුද්ගලික වාසි වලට අදාළ ව්‍යාපෘති කරනවා. ඡන්දේ දීපු මිනිස්සු ඔහේ බලන් ඉන්නවා. ඒ සෙල්ලම් බලන් ඉද්දි දන්නෙම නෑ ආණ්ඩුවේ කාලේ ඉවර වෙනවා. 

ඔන්න ආයිත් ඡන්දයක් ආවම කලින් රෝලම ගහනවා විපක්ෂේ අය කියනවා ආණ්ඩු පක්ෂේ රට කාල තියෙන්නේ , රට දියුණු කරනවා රස්සාවල්  දෙනවා  කියල දුප්පත් මිනිස්සුන්ට හීන සහ බලාපොරොත්තු දෙනවා. ඔන්න ඉතින් කලින් ආණ්ඩුව පැරදිලා විපක්ෂේ එනවා ආණ්ඩු පක්ෂෙට. එතකොට ආයිත් පැරදුනු ආණ්ඩු පක්ෂේ උන් එනවා අලුත් ආණ්ඩු පක්ෂෙට. ඇවිල්ල ආයිත් තව අවුරුදු පහ හයක් කලින් කරපු දේම කරනවා. මේක හරියට එකදිගට  මාරුවෙන් මාරුවට බලන ෆිල්ම් දෙකක් වගේ.

ප්‍රධාන පක්ෂ දෙක මේ විදියට එක එක සන්ධාන ගහගෙන ලස්සන නාට්‍යයක් රග පානවා. මිනිස්සු අසරණයි. ඇයි හැමදාම එකම දේ වෙන බව දන්නවා. ඒත් අවුරුදු 50 ක් 60ක් තිස්සේ එකම දේශපාලන නායකයෝ ටික ලංකාවේ මාරුවෙන් මාරුවට පත් වේවි සල්ලි ගොඩේ පිනුම් ගහනවා. එකම දේ වෙන බව දැන දැනත් ඔහේ ඡන්දේ දානවා. වෙන මොනවා කරන්නද ?  මිනිස්සු බුරුවො කියල දේශපාලන පක්ෂ දන්නවා, දේශපාලන පක්ෂ කියන්නේ කරන්නේ බොරුව සහ හොරකම කියල මිනිස්සුත් දන්නවා. දැන දැනම අපි ආයිත් එකම දේ කරනවා. ඉන්න උන්ටම කතිරේ ගහනවා මිස වෙන විසඳුමක් අපිට නෑ , ඒ අතින් අපි හරි අසරණයි.



පසුව ලියමි.

මගේ අදහස රටේ සංවර්ධනය තීරණය කරන්න ඕන දේශපාලන පක්ෂ සහ පවතින ආණ්ඩුව නෙවෙයි. ඒත් ලංකාවේ වෙන්නේ පවතින ආණ්ඩුව වෙනස් උන ගමන් ආර්ථිකය පිළිබඳව කලින් ගත්ත තීරණ සියල්ල වෙනස් කරලා අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා. ඒක හරියට රෙද්දක් හෝද හෝද මඩට දානවා වගේ. හැමදාම එකම තැන. රටකට තියෙන්න ඕන මොන ආණ්ඩුව ආවත් වෙනස් නොවෙන දීර්ඝ කාලින සංවර්ධන වැඩ පිළිවෙලක් මිසක් අට පාස් නොවෙච්ච දේශපාලන නායකයන්ගේ පුද්ගලික ව්‍යාපෘති නෙවෙයි. එහෙම හොඳ වැඩ පිළිවෙලක් ගෙනාවත් ඒක කරන්න බැරි අවුරුදු හතරකින් පහකින් එහෙම අපි බලාපොරොත්තු වෙන සංවර්ධනය කරන්න බැරි නිසා. ඒ නිසා ඡන්දයක් ආවම අපිට හරි යයි කියල හිතන්න එපා. හරි යනවා. අපිට නෙවෙයි දේශපාලනය පිටුපස තියෙන ව්‍යාපාර වලට. මොකද දේශපාලනය කියන්නේ ව්‍යාපාර ගොඩක එකතුවක්.

Saturday, July 18, 2020

සමාජ මාධ්‍ය වලට වහල් වීම.

Social media addiction costing creativity and knowledge: Study ...


සමාජ මාධ්‍ය කිව්වම ඔළුවට එන්නේ facebook එක තමයි. Twitter, youtube, instagram, tiktok උනත් සමාජ මාධ්‍ය තමයි. හැම එකම ආරම්භය හරිම සරල සහ අහිංසක අරමුණක් උනාට කාලයක් යනකොට වෙළඳ දැන්වීම් රිංගා ගත්තාම තනිකර අවුලක් වෙනවා. කොටසක් ඉන්නවා like හිඟා කනවා. Like ගන්න ඕන ජරාවක් හදලා share කරනවා. මේවාට පුරුදු වෙන අය වෙනම උප සංස්කෘතියක් වගේ. වෙනම භාෂාවන් වචන විතරක් නෙවෙයි හිතන පතන විදියත් වෙනස් වෙනවා. 

මම හැම social media  එකකම බැහැල හිටපු කෙනෙක්, හැබැයි මගේ යාලුවෝ කීපදෙනෙක් හිටියා කිසිම account  එකක් නැති. තිබුනත් සද්ද නැතිව ඉන්න. මුලදී මට තේරුනේ නෑ, මට ඒ කාලේ හිතුනා මොක්කුද මුන් කියල. හැබැයි පස්සේ මට තේරෙන්න ගත්ත මේ සමාජ මාධ්‍ය වලින් වෙන්නේ වාසියක් නෙවෙයි අවාසියක් බව. facebook ඇප් එකට අපි දවසෙන් ලොකු පැය ගානක් වෙන් කරනවා කියන එක මට තේරුණා. 

අනික සමාජ මාධ්‍ය කියන්නේ සත්‍ය ජිවිතේ වසන් කරලා වෙනම රියලිටි එකක් මවාගෙන සහ අනිත් අයට මවා පාන්න ගොඩාක් මහන්සි වෙන තැනක් කියල හැමෝටම තේරෙන්නේ නෑ. මම කැමති නෑ මේ බොරු මවා පෑම් දිහා උදේ හවස බලන්න. උදාහරණයක් විදියට බල්ලොන්ට අකමැති එවුන් බල්ලෝ බදාගෙන ෆොටෝ ඒවා දානවා දැක්කම මට එන්නේ මාර පිළිකුලක්. 

ඒ නිසා මම ඔක්කොම social media වලින් දුරස් උනා. ඒ කියන්නේ account  එක තියන් ඉන්නවා හැබැයි සක්‍රිය නෑ. සමහර වෙලාවට යාළුවෙක්ව හොයා ගන්න හරි කතා කරන්න නම්බර් එකක් නැති උනාම තියෙන එකම පිළිසරණ facebook  එක නිසයි මම එහෙම කරන්නේ. 

අපි සමාජ මාධ්‍ය ආපු කාලේ ඉදන් හැදිච්ච පරම්පරාවක් නිසා මේක අපිට කරපු බලපෑම අපිට තේරෙන්නේ නෑ. ඒක තේරෙන්න නම් ටික කාලයක් එකෙන් අයින් වෙලා ඉඳලා බලන්න ඕන. මට නම් මාර වෙනසක් දැනුන. වෙලාව සැහෙන ඉතිරි උනා මගේ අනිත් වැඩ කරන්න. අනිත් මිනිස්සුන්ගේ ජිවිත දිහා බල බල ඉන්න වෙලාවේ තමන්ගේ වැඩක් කර ගත්තම එකේ වාසිය අපිටමයි. අපි වෙන කෙනෙක්ගේ ෆොටෝ එකකට ස්ටේටස් එකකට ලයික් කළා කියල අපිට මොනවද ලැබෙන්නේ කියන එක පොඩ්ඩක් නිවී සැනසිල්ලේ හිතල බැලුවම මුකුත් නෑ. එකෙන් අනිත් මනුස්සයට පොඩි සතුටක් දෙනවා. එච්චරයි.  සමහරු අනිත් අයගේ ඒවාට ලයික් කරන්නේ තමන්ගේ පොස්ට් වලටත් ලයික් එයි කියන බලාපොරොත්තුවෙන්.  ලයික් ගාන වැඩි උනා කියලා පොඩි සතුටක් එයි. ඒ ඇරෙන්න්න පොස්ට් එක දාන එකාට වත් ලයික් කරන එකාට වත් කිසිම අමතර දෙයක් ලැබෙන්නේ නෑ.
තමාගේ ඇත්ත ජිවිතේ වසන් කරලා මවාපු ජිවිතයක් පෙන්නන්න උන්ට ඇයි අපි ලයික් දාන්නේ කියන දේත් පොඩ්ඩක් හිතන්න වෙනවා. සමහර වෙලාවට අපි හෙනට ලයික් කලාට ඒ මනුස්සයාගේ ජිවිතේ සම්පුර්ණ වෙනස්. සමහර අය අනිත් අයට වඩා තමන් හොදින් ඉන්නවා කියල පෙන්නන්න ගොඩක් සල්ලි වියදම් කරනවා කාලේ නාස්ති කරනවා.  ඉතින් ඒක හරිම විහිළුවක් නෙවෙයිද?

මට මේක ලියන්න හිතුනේ මම දන්නා ගොඩක් අය ඉන්නවා facebook  නිසා ගොඩක් අවුල් ඇති කර ගත්ත අය. සමහර අයට පවුල් ප්‍රශ්න ඇති උනා. හොදට හිටපු කපල් වෙන් උනා. මේක වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය නොකරන නිසා. මම කියන්න හදන්නේ සම්පුර්ණ අයින් වෙන්න කියන එක නෙවෙයි ඕක තමන්ගේ ජිවිතේ එක්ක පටලවා නොගෙන ඉන්න කියන එක. facbook එක අපි ගැන හිතන්නේ නෑ ඒ සිස්ටම් එකේ පරමාර්ථය මුදල් ඉපයීම කියන එක තේරුම ගන්න ඕන. ඒ නිසා මේ සිස්ටම් එකේ බොහොම පොඩි දේවල් පවා හදන්නේ ඒක මනෝ විද්‍යාත්මකව පර්යේෂණ කරලා  මිනිස්සු ඇබ්බැහි වෙන විදියට. උදාහරණයක් විදියට පහලට පහලට scroll කරන එකට මිනිස්සු මානසිකව ඇබ්බැහි වීමක් වෙනවා. ඒ කියන්නේ තව තව ඕන කියන එක සහ  කුතුහලය කියන එක මිනිස්සුන්ගේ 
හිත් වල ස්වභාවයක්. මේක දැනගෙන කරපු දෙයක්  තමයි මේ පහළට scroll කරන විදිය. ඒක මම නම් දකින්නේ කපටි දෙයක් විදියට. මම මේ කියන දේවල් වලට ගොඩක් අය විරුද්ධ ඇති. ඒත් ඇත්ත කියන්නේ ඇත්ත මිසක් ඒක පිළිගන්න තරම් බුද්ධිමත් බවක් නැති එක නිසා එකෙන් සත්‍ය නැතිවෙලා යන්නේ නෑ. ඒ නිසා බුද්ධියක් තියෙනවා නම් සමාජ මාධ්‍ය වලට වහල් නොවී ස්වාධිනව, තමන්ගේම ලෝකෙ සතුටෙන් ජීවත් වෙන්න උත්සහ ගන්න. 





Saturday, June 27, 2020

තමන් හිසට තම අතමය සෙවනැල්ල

Virtuvian Ventures Pvt. Ltd. - Best Software development Company ...

ආපහු හැරිලා බැලුවම පොඩි කාලේ ඉදන් මගේ ජිවිතේ ප්‍රධාන පියවරවල් මම අරන් තියෙන්නේ අනික් අයට වඩා ඉකමනට. හැබැයි උසස් පෙලින් ඒක වෙනස් උනා. එතන ඉදන් මම අනිත් අයට පස්සේ තමයි ජිවිතේ ප්‍රධාන කණු පහු කරන්නේ. 

කෙලින්ම මම ඇඟිල්ල  දික් කරන්නේ ඒ කාලේ අපේ රටේ තිබුන කාලකන්නි අධ්‍යාපන ක්‍රමයට. ඒ නිසා මට බැරි උනා මගේ හැකියාවට හරියන පාරේ යන්න. මට පොඩි කාලේ ඉදන් තිබුනා ඉලෙක්ට්‍රොනික් සහ පරිගණක පිස්සුවක්.  මම ඉස්කෝලේ යන කාලේ කැමැත්තෙන්ම කරපු එකම විෂය ඒක. යන්තම් ඒක ඕ ලෙවල් වලට තිබුනා අපේ ඉස්කෝලෙට පින් සිද්ද වෙන්නේ. ඒකට A එකක් ගත්ත කියන එක ගැන මම සතුටු උනා. අනිත් ඒවටත් A තිබුනට මට කිසි ගතියක් දැනුනේ නෑ. 

හැබැයි ඉතින් ඕ ලෙවල් උගන්නපු ඉලෙක්ට්‍රොනික් මට නිකන් ඒ කාලේ හෝඩි පොත වගේ. ඒ වෙද්දී මම සැහෙන ඇඩ්වාන්ස්. දවසක් අපිට උගන්නපු ගුරුතුමා කිව්වා මෙන්න මේ සර්කිට් එක හදාගෙන එන්න කියල. මට මතකයි එක කොල්ලෙක් අඩි දෙකක විතර ලොකු සර්කිට් බෝඩ් එකක් උස්සන් ආවා. ඒක හරියට වැඩ කලේ නෑ. මම මගේ සර්කිට් එක අරන් ගියේ ගිනි පෙට්ටියක දාගෙන. උගන්නපු ගුරුතුමාට හෙන කික් ඒක දැකල.

කොහොම හරි මට ඕන උනා ඒ පැත්තෙන් යන්න ඉස්සරහට ඒත් මම ලොකු සල්ලිකාර පවුලක කොල්ලෙක් නොවුන නිසා මට තිබුන එකම පාර රජයේ කැම්පස් එක. ඉතින් තාක්ෂණික පැත්තේ කැම්පස් කෝස් එකක් කරන්න නම් maths කරන්න ඕනනේ. දැන් එහෙම නෑ. ඒ කාලකන්නි කාලේ එහෙමයි. 

හැබැයි පොඩි කාලේ ඉදන් ගණන් නම් මට පෙන්න බෑ. දක්ෂතාව නෑ. අන්තිමේ මගේ ජිවිතේ අවුරුදු තුනක්  නාස්ති උනා ගණන් හද හද ඉඳලා. වෙන රටක හිටිය නම් එහෙම වෙන්නේ නෑ. තමන් කැමති දෙයින් ඉස්සරහට යන්න පුළුවන්. අද මම Senior Software Engineer කෙනෙක් විදියට ගණන් හදලා කැම්පස් ගිය අයට වඩා ලොකු තැනක ඉන්නවා. හැමදාම මම හිතන දෙයක් තමයි අවකලනය අනුකලනය ජ්‍යාමිතිය හද හද හිටපු අවුරුදු තුනේ මම අලුත් programming language ටිකක් ඉගෙන ගත්ත නම් අද මීටත් වඩා දෙයක් කරන්න තිබුනා කියලා. 

programming language සමහර ඒවා ඉගෙන ගන්න ගේමක් දෙන්න ඕන. ඉගෙන නොගෙන ඉන්නත් බෑ. ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න නම් අලුත් දේවල් ඔක්කොම ඉගෙන ගන්න ඕන. ඒක තමයි මේ ෆීල්ඩ් ඒකේ තියෙන අවුල. කොන් වෙනවා නැත්නම්. වටිනාකම නැතිව යනවා. මට ඉස්සර ඉදන් කවුරු හරි කියල දෙන දෙයක් ඔලුවට යන්නේ අඩුවෙන්. මම වැඩියෙන්ම දක්ෂ මොබයිල් ඇප් වලට උනත් අනිත් දේවලුත් අකමැත්තෙන් උනත් ඉගෙන ගන්න ඕන.  දැන් මම සති ගානක් තිස්සේ MEAN STACK (තේරෙන්නේ නැති ය වැඩිය හිතන්න එපා. වෙබ් සයිට් එකක් හදන විදියක් කියල හිතා ගන්නකෝ ) වීඩියෝ බලල ඉගෙන ගන්න හැදුව. හරි ගියේ නෑ. අන්තිමේ ගත්ත ෆුල් කෝඩ් එක තියෙන කලින් හදපු ප්‍රොජෙක්ට් එකක්. ඒක බලාගෙන හැදුව. මට දවසෙන් ට්‍රැක් එක අල්ල ගන්න පුළුවන් උනා. 

මට එතකොට තේරුණා මගේ ඉගෙන ගන්න විදිය කෑලි වලට ගලවල හදලා මිසක් මුල ඉදන් පොඩ්ඩ පොඩ්ඩ නෙවෙයි කියන එක. මේක තේරුම ගන්න මගේ ජීවිතෙන් ලොකු කාලයක් ගියා. අපිට ලංකාවේ මේක තෙරුන් ගන්න කල් ගියාට පිටරට ළමයින්ට පොඩි කාලෙම නිදහස දෙනවා තමන්ව තේරුම ගන්න.  

ඒ කියන්නේ තමන් මොන පැත්තෙන්ද යන්න ආස , තමන් මොන විදියටද ඉගෙන ගන්න ඕන කියන ඒදේ හිතන්න උන්ට නිදහස තියෙනවා. අපිට ඒ නිදහස තිබුනේ නෑ. මම දන්නේ නෑ  තාමත් ඒක තියෙනවද කියල. අපිව එක වසරේ  කාලේ ඉදන් ශිෂ්‍යත්වෙට තමයි ටාගට් කලේ. ඊටපස්සේ ඕ ලෙවල් , ඊට පස්සේ ඒ ලෙවල්. ඔය තුන ගොඩ දැම්මම හරි කියල තමයි හැමෝම හිතන්නේ. ඒත් ඔය රැල්ලට ගියාම වෙන දේ තමයි දැන් ලංකාවට වෙලා තියෙන දේ දැක්කම තේරෙන්නේ. කවුරු වත් තමන් කැමති දේ නෙවෙයි  කරන්නේ. මරන්න වගේ ඔෆිස් යන්නේ. එතන ගියාට කැමැත්තෙන් වැඩ කරන්නේ නෑ. 

හොද වෙලාවට මම මේකෙන් අපගමනය උනා. බැංකු දෙකක වැඩ කරපු  කරපු මම ඒ දෙකෙන්ම අස් උනා, ඒක මට හරි ගියේ නෑ, ඊට පස්සේ රජයේ රස්සාවක් කරන ගමන්  ගෙදර මිනිස්සුන්ගේ බැනුම් අහගෙන මම තොරතුරු තාක්ෂණ උපාධියක් කරා. උපාධිය අරන් රජයේ රස්සාවෙන් අස් වෙලා පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට ජොබ් එකකට යද්දී  හැමෝම හිතුවේ මට කෙල වෙයි කියල.  රජයේ රස්සාවෙන් අස් වෙන මොඩය කියල හැමෝම හිතුව කිව්වා. ගෙදර මිනිස්සු බැන්න. මෘදුකාංග ඉංජිනේරුවෝ විදියට ඒ වෙත්දී වැඩ කරන යාලුවෝ පවා හිතුවේ, කිව්වේ එහෙමයි . එහෙම උනේ නෑ . ඒකට හේතුව උන්ට වගේ නෙවෙයි මට ඔෆිස් එකේ වැඩ වදයක් නෙවෙයි මොකද මගේ ඇගේ තියෙන්නේ ඒක, මම ආස ඒක. එක කරන්න.  එහෙම බැලුවම මම ගත්ත තීරණ ගැන මම සතුටු වෙනවා. ආඩම්බර වෙනවා. (පඩිය ගැන කතා නොකර ඉමු. හොයල බලන්න කැමති කෙනෙක් මෘදුකාංග ඉංජිනේරු කෙනෙක් ගේ පඩිය.) හැබැයි දැන් මට ගෙදර අය කියන්නේ අර අහවල් එක්කෙනාගේ පුතාත් IT  වැඩ කරන්නේ, ඔයාට වඩා ලැබෙනවනේ එයාට කියල. එතකොට මම මතක් කරලා දෙනවා රජයේ රස්සාවෙන් අස් වෙනකොට මට බැනපු හැටි සහ එතකොට ලැබුන පඩිය. 😅

මම කියන්නේ කවුරු මොනවා කිව්වත් තමන් කැමති වඩු වැඩට නම් වඩු වැඩ කරන්න, අසාවෙන් එක කලොත් ඒකෙන් උනත් උඩට යනවා ෂුවර්. හැබැයි තාමත් ලංකාවේ අම්මල තාත්තලට ඕන දරුවා බැංකු කරුවෙක් , වෛද්‍යවරයෙක් , ඉංජිනේරු වරයෙක් කරන්න. මට කියන්න අයිතියක් නෑ දෙමවුපියෝ කියන දේ අහන්න එපා කියල. හැබැයි අමාරුවෙන් හරි තමන් කැමති දෙයක් කරලා ගොඩ ගියොත් කොච්චර බැන්නත් දෙමවුපියෝ  අන්තිමේ සතුටු වෙනවා.




Wednesday, June 24, 2020

පුංචි පුරුදු - Mini Habits




සමහර විට ඔයාලට හිතිලා ඇති අද කරන්න හිතා ගත්ත දේවල් එකක් වත් කරන්න බැරි උනා. අද කිසිම පලදායිව ගත කලේ නෑ කියල හැඟීමක්. (පට්ට කම්මැලියෙක් නෙවෙයි නම්) මිනිස්සු හැමෝටම හිතෙනවා ඇති කියල මම හිතෙනවා තමන් කැමති හොද පුරුදු. හැබැයි ඒවා කරන්න වෙන්නේ නෑ.
උදාහරණයක් විදියට..
සල්ලි ඉතුරු කරන්න, 
පොතක් කියවන්න,
ව්‍යායාම කරන්න,
කෑම පාලනේ කරන්න,
බොන එක නවත්තන්න 
අලුත් භාෂාවක් ඉගෙන ගන්න 
අලුත් දෙයක් ඉගෙන ගන්න
භාවනා කරන්න
කාමරේ සුද්ද කරන්න 😅


දහසක් කරන්න දේවල් තියෙනවා හැබැයි කරන්නේ නෑ. ඇයි ? මම දන්නවා ලෙඩක් දුකක් නැත්නම් සාමාන්‍ය කෙනෙක් කියන්නේ අපිට වෙලාව නෑ කියල. 

මටත් එහෙමයි. මට උදේ නැගිට්ටම හෙන ගොඩක් හොඳ පුරුදු ඇති වෙන දේවල්  කරන්න ඕන කියල හිතෙනවා හැබැයි එවයින් රෑ වෙද්දී එකක් වත් කරන්න බෑ වෙලාවක් නෑ . මොකක්ද මේ ජිවිතේ කියල බලාපොරොත්තු කඩ වෙනවා.

හැබැයි එහෙම වෙන්නේ ඇත්තටම මිනිස්සු වෙන අපි හෙන තඩි බලාපොරොත්තු ඇති කර ගන්න නිසා. උදාහරණයක් විදියට මට ආසයි පොත් කියවන්න. ඔන්න නිවාඩු දවසක් යන්තම් හොයාගෙන තඩි පොතක් අරන් හිතනවා අද නම් මේ පොත ඔක්කොම කියවල ඉවර කරනවා කියල. පොත ඔක්කොම කියවන්න පැය තුනක් යනවා කියමු. හැබැයි  ඇත්තටම වෙන්නේ මොකක්ද?

ඔෆිස් එකේ වැඩක් සෙට් වෙනවා,
ගෙදර වැඩක් සෙට් වෙනවා,
යාලුවෙක් කතා කරනවා,
බඩගිනි වෙනවා,
ටීවී බලන්න ඕන වෙනවා
මොකුත්ම නැත්නම් නින්ද යනවා,😅

මේ මට වෙන දේවල්,  වෙන අයට වෙන වෙන ඒවා ඇති. ඒ  වගේ බාධාවල් ඇවිල්ල මට පොත කියවන්න බැරි වෙනවා. ඕන නම් පිටු 20 ක් කියවයි. දැන් හෙන අවුල්.

මේ වගේ තව එකක් ගමු. මට කාමරේ අස් කරන්න ඕන. මම දන්නවා කාමරේ පිළිවෙලට තියන්න ඕන කියල ඒත් ඕක පටන් ගත්තොත් දුවිලි නාගෙන මකුළු දැල් නාගෙන මුළු දවසම යනවා වැඩේට ඊට වඩා හොදයිනේ ෆිල්ම් එකක් බලාගෙන ආතල් එකේ ඉන්නවා මේ හිටිය වගේ. ඒ වැඩේ කරන්න හිතෙන්නේ නෑ.

 අපිට වරදින්නේ ඔන්න ඔතන. අපි එක සැරේට ඔක්කොම ඉවර කරන්න ඕන කියල ලොකු බලාපොරොත්තු ඇති කරගන්නවා. එකෙන් වෙන්නේ කවද වත් ඉවර කර ගන්න වෙන්නේ නැති එක. ඒ වැඩෙත් අප්පිරිය වෙනවා.

මෙහෙම හිතලා බලන්න. ලොකු සීන් අමතක කරලා පොඩියට 
මම අද දවසට විනාඩියක් අරන්  පොතේ එක පිටුවයි කියවන්නේ කියල , 
අද දවසට විනාඩි පහක් අරන් මම මෙසේ ලාච්චුව විතරයි සුද්ද කරන්නේ. 

(කෙනෙක්ට දවසෙන් එක විනාඩියක් වෙන් කරගන්න වත් වෙලාවක් නැති තරමට බීසී නම් දැන්ම මේක කියවන එක නතර කරන්න. මොකද මේක කියවන වෙලාවේ ටොයිලට් එකට හරි යන්න පුළුවන්. ඒකටත් වෙලාව නැතිව ඇති. හැබැයි අපිට වෙලාව නෑ නෑ කියන අයට facebook, youtube  යන්න නම් වෙලාව තියෙනවා)

ආයිත් මාතෘකාවට එමුකො. මෙහෙම පුංචියට දවසට විනාඩියක් හරි දෙකක් හරි අරන් සතියක් විතර දිගටම කරත්දී අපිට ඔන්න යන ටයිම් එක පොඩ්ඩක් අපිට ඕන විදියට වැඩි කරන්න හිතෙන්න ගන්නවා. තව ටිකක් වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒක කරන්නේ අපේ හිතෙන්. එක සැරේට ඕක හිතෙන්නේ නෑ .

ඒ කියන්නේ  
බිම අතුගාල, මකුණු දැල් ටිකත් අද කඩන්න පුළුවන් 
තව පිටු 10 ක් විතර කියවන්න පුළුවන්
 
මෙහෙම දිගටම කරගෙන යද්දී සමහර විට සතියෙන් නැත්නම් දෙකකින් පොත කියවල ඉවර වෙලා තව පොතක් කියවන්න ගන්න පුළුවන්, කාමරේ ඔක්කොම සුද්ද වෙලා. ඇයි ? ලොකු බලාපොරොත්තු නැහැනේ අපි පොඩියට කරගෙන යද්දී අන්තිමේ වැඩේ ඉවර වෙනවා සහ පුරුද්දක් බවට පත් වෙනවා.

අනික මේක හරියටම මේ වෙලාවට කරන්න ඕන කියල එකක් නෑ. දවසේ ඕනා වෙලාවක කරන්න පුළුවන්. දවසෙන් විනාඩියක් විතරයි. දවසට විනාඩි තියෙනවා 1500 ක්.

මේ විදියට හිතන්න ඔයා අලුත් බාසාවක් ඉගෙන ගන්න පටන් ගත්තා කියල, එක සැරේට නෙවෙයි කාලයක් යද්දී ඔයා වතුර ලෙස බාසාව හසුරවනවා, ඒක පුරුද්දක් වෙලා. මේවට තමයි Mini  Habits  කියන්නේ. පොඩියට පටන් අරන් කාලයක් කරනකොට දන්නෙම නෑ බලනකොට හෙන වැඩ ගොඩක් කරලා.

බ්ලොග් එකක් ලියන එකත් ඒ වගේ මට පිටිපස්ස හැරිලා බැලුවම මම සැහෙන පොස්ට්  ලියල කියල පොඩි කික් එකක් එනවා. මුලදී මට පොස්ට් එකක් ලියන්න සැහෙන වෙලා ගියාට දැන් ටක් ගාල ලියන්න පුළුවන්. ( ඒකට විශේෂීකරණය වෙනවා කියල කියන්නේ. එකම වැඩක් දිගටම කරලා ලබාගන්න නිපුනතාවය) ඒකෙන් අපිව තව තව ධෛර්යමත් වෙනවා. 

මමත් මේක ඉගෙන ගත්තේ youtube  එකෙන්. පහලින් ලින්ක් එකක් දාන්නම් . මේ වගේ හොද පුරුදු ලිස්ට් එකක් හදාගෙන මම කරලා බැලුව. දන්නෙම නෑ සතියක් යද්දී මම මහා වැඩ ගොඩක් කරලා. අනික දැන් ඒවා නවත්තන්න හිතෙන්නෙත් නෑ අසාවෙන් කරනවා. තව තව කරන්න දේවල් ඔලුවට එනවා. දවස අන්තිමේ හෙන වැඩ ගොඩක් කළා කියල හෙන ගැම්මක් එනවා. ටික ටික අපේ වේගේත් වැඩි වෙනවා කරන වැඩේ. ඒ කියන්නේ විනාඩි පහකින් කරන දේ විනාඩි දෙකෙන් කරනවා වගේ දෙයක්. කාලය ඉතුරුයි නේ? 

මේකට මම ඇප් එකකුත් හොයා ගත්ත. ඒක ප්‍රස්ථාර ගහල එක එක විදියට අපේ සාර්ථකත්වය පෙන්නනනවා.කරපු වැඩේ මාර්ක් කරන්න විතරයි තියෙන්නේ.  ඒකෙත් ලින්ක් එක මෙන්න


Screenshot ImageScreenshot ImageScreenshot Image




 කැමති අය වීඩියෝ එකත් බලන්න. මට වඩා හොදට ඒකෙ පැහැදිලි කරනවා.




තව දෙයක් කියන්න ඕනා මේකෙන් හොද පුරුදු වගේම තමයි මේකේ අනිත් පැත්ත. නරක පුරුදු වලටත් ඇබ්බැහි වෙන්නේ මිනි හැබිට් වලින්. පොඩියට පටන් අරන් අන්තිමේ පට්ට නරක පුරුද්දක් වෙලා නවතින්නේ . අපි ඒවාට නම් නිකන්ම ඇදිල යනවා. හැබැයි හොද වැඩක් කරන්න තමයි වෙලාව නැත්තේ. 

මම තනියම බුදු වෙන්නේ නැතිව අනිත් අයටත් කියල දෙන්න ඕන නිසයි ලිව්වේ. හිතේ තියෙන දෙයක් කියල comment එකක් දාලා යන්න. බැන්නත් කමක් නෑ කොමෙන්ට් එකක්නේ.


පසුව ලියමි.

මිනි කියන එකේ සිංහල වචනේ හිත ගන්න සැහෙන වෙලා ගියා. small කියන්නෙත් පොඩි කියන එක මිනි කියන්නෙත් පොඩි කියන එක. ක්ෂුද්‍ර කියන්නත් බෑ  micro කියල එකක් තියෙනවා.  ගූගල් ශබ්දකෝෂයට අනුව mini සිංහලෙනුත්  මිනි ම තමයිලු . දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. 

Sunday, June 21, 2020

උබුන්ටු නම් එපා...

Bad Ubuntu, Bad | Differently Social


අනේ මන්ද මගේ පොස්ට් එන්න එන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව යයි කියලත් බය හිතෙනවා. මේ ටිකේම ලිව්වේ තාක්ෂණික දේවල්. ඊලග පොස්ට් එකේ වත් කාට හරි බනින්න ඕන.

කොහොම හරි කලින් පොස්ට් එකේ දැම්මේ උබුන්ටු ලිනක්ස් වලට සිංහල දා ගන්න විදිය. අද ලියන්නේ ඇයි මම උබුන්ටු පාවිච්චි නොකරන්නේ කියල. කලින් පොස්ට් එකේ කිව්වා වගේම මට තියෙන ලිනක්ස් අමාරුව නිසා දවස ගානේ මම os  මාරු කරනවා. දැන් ඒක අඩු වෙලා. එක එක ඒවා පාවිච්චි කරලා අන්තිමට උබුන්ටුම ආයිත් දාගෙන සතියක් ගියේ නෑ ගලවලා දාල  මින්ට් ලිනක්ස් දාගත්තා.

ඇයි එහෙම කලේ කියල කියනවා නම්, 

1. මට operating system  එකක ලස්සනත් ඕනා වැඩ කිඩත් ඕනා. වැඩ තියෙන ඒවයේ ලස්සන නෑ ලස්සන තියෙන ඒ්වයේ වැඩ නෑ. උබුන්ටු දා ගත්තේ ඒකේ පෙනුම ලස්සන සහ පහසු නිසා. දගලලා දඟලල සිංහල පේන විදියත් යන්තම් හදා ගත්තා. ඒත් ටික දවසක් යද්දී තේරුණා සිංහල විතරක් නෙවෙයි ඉංග්‍රීසිත් බලන්න අමාරුයි කියලා. ඇහැට හරි අමාරුයි. ඉංග්‍රීසි නේ වැඩියෙන් බලන්නේ. සිංහල පාවිච්චි වෙන්නේ බ්ලොග් එක ලියන්න විතරයි.

2. ටික දවසක් යද්දී මට තේරුණා පිරිසිදු ලිනක්ස් වල experience  එක උබුන්ටු වලින් එන්නේ නෑ කියල. 

3. අනවශ්‍ය වල් පල් services විශාල ගානක් නිකන් run  වෙනවා. ඒ නිසා  හෙන resources  ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නිකන් machine  එක රත් කරන්නේ මොකටද?

4. ලිනක්ස් වල පදනම open source උනාට උබුන්ටු යන පාර windows  යන පාරම තමයි කියල මට එකේ app store එක බැලුවම හිතෙන්න ගත්ත. මීට කලින් උබුන්ටුලා app  store  එකට amazon ඇඩ් දාන්න ගිහින් නා ගත්ත. දැන් snap store   කියල එකක් දාගෙන. ඒකේ තියෙන්නේ opan  source  ඒවාට වඩා proprietary ඒවා.   

5. අනිත් ඩිස්ට්‍රො වගේ නෙවෙයි customization කරන්න හරියට දඟලන්න ඕනා. අපි දෙන්නේ මෙච්චරයි, එක්කෝ ඉඳපන් නැත්නම් පල කියන්න වගේ තමයි ඒක හදලා තියෙන්නේ. හරියට අපල් වගේ.

මින්ට් ලිනක්ස් දාගත්තම මට ආයිත් හරි සැහැල්ලුවක් දැනුන. නිකන් කාලේකට පස්සේ ගමේ ගියාම එනවා වගේ. ඔක්කොම හුරු පුරුදු දේවල් හරිම ලේසියෙන් එහේ මෙහේ යන්න පුළුවන්. දන්න අඳුරන දේවල් තියෙන්නේ. ඒ සතුටට තමයි එකෙන්ම මේ පොස්ට් එක ලිව්වේ. මම හිතන්නේ මම ආයේ නම් උබුන්ටු දාන එකක් නෑ එච්චරට එපා උනා.
ඇත්තටම මින්ට් කියන්නෙත් උබුන්ටු එකේ කොපියක් තමයි. මම හිතන් ඉන්නේ ටික දවසක් ගිහින් තව මේක ඇගට අල්ලලා ගියාම arch linux  හරි debian  එකක් හරි දාගන්නවා කියලා. 

වෙන ලිනක්ස් පාවිච්චි කරලා උබුන්ටු වලට ආවම නිකන් සාංකාවක් වගේ එනවා. සිස්ටම් එක බරයි කියල තේරෙනවා.  ඒත් කැපුවත් උබුන්ටු කියන අය ඉන්නවා. die hard fans. ඒ වගේම සමාජ මාධ්‍ය වල (youtube) උබුන්ටු වලට පලු යන්න බනින අය ඉන්නවා. සමහරු කියන්නේ මේ විදියට මිනිස්සු දම්මල බනින්නේ උබුන්ටු හොද operating  සිස්ටම් එකක් විදියට ජනප්‍රිය වෙන එක නවත්වන්න ඇපල් සහ මයික්‍රොසොෆ්ට් සමාගම් වල යටි කූට්ටු වැඩ කියල. හැබැයි distrowach වලට අනුව නම් මේ ටිකේම උබුන්ටු ඉන්නේ පහලින්. 

කොහොමත් ලිනක්ස් ලෝකේ ඩිස්ට්‍රො පාවිච්චි කරන අය අතර එක මතයක් නෑ. ඒකට හේතුව එක එක ඩිස්ට්‍රො ඒවා එක එක අයගේ අවශ්‍යතාවයට හදලා තියෙන්නේ. ලිනක්ස් කියන්නේ වෙනම උප සංස්කෘතියක්. Open source, privacy , free software වගේ දේවල් උඩ මේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ. මොකද මේ linux කියන්නේ microsoft සහ apple වලටත් අභියෝග කරන සමාජය තුළින්ම හැදුන විප්ලවයක්. ඒකයි කිසිම වෛරස් එකකට මේකට attack කරන්න බැරි. නමුත් මේ සංස්කෘතිය තුළින්ම ඉපදිලා හැදිලා වැඩිලා ඒකට විරුද්ධව, එරෙහිව උබුන්ටු ගමනක් යනවා වගේ. තව දුරටත් එහෙම ගියොත් නම් මේකට වැඩි ආයුෂ නැති වෙයි. 







Thursday, June 18, 2020

උබුන්ටු වල සිංහල පේනවා අවුල්ද?




මට කොහොමත් linux අමාරුව තියෙනවා කියලා දන්නෝ දනිති. පහුගිය ටිකේම කලේ එක එක ජාතියේ linux distributions ඩවුන්ලෝඩ් කර කර බලන එක. මට ඕන උනේ සදහටම බාවිතා කරන්න හොදම එකක් තෝරා ගන්න. linux expert නොවුනට අන්තිමේ දී මට පරම සත්‍ය අවබෝධ උනා. ඒ කියන්නේ ඔක්කොම ජාති එකයි. 

Debian, Ubuntu , Lubuntu, Kubuntu, Mint, Zorin, Popos, Elementary os , Manjaro, Redhat,  Knopix, Puppy linux, Fedora.. 

එකී මෙකී නොකී ඔක්කොම මම අත්හදා බැලුවා. පාඩුවක් උනේ නෑ. කවුරු හරි මුලින් කිව්වා නම් මචන් ඔක්කොම linux os එකම තමයි කිව්වා නම් මම පිළිගන්නේ නෑ. ඒත් install කරලා කරලා වරු ගණන් චාටර් වෙලා අවුල් ගිහිල්ලා ගුග්ල කරලා උත්තර හොයලා ගත්ත අත්දැකීමෙන් අන්තිමේ මම ඒක තේරුම් ගත්තා. ගින්දරට අත පිච්චෙනකන් පොඩි එවුන්ට ගින්දර එහෙම අල්ලන්න එපා කිව්වට අහන්නේ නැහැනේ. අන්න ඒ වගේ.

වෙනස තියෙන්නේ බාවිතා කරන package සහ desktop  environment  එක වෙනස් වෙන එක විතරයි. ලිනක්ස් කර්නල් එක වෙනසක් නෑ. Windows වගේ නෙවෙයි ලිනක්ස් වලදී අපිට කැමති distribution එකක් අරන් අපිට ඕන විදියට අපේ os එකක් හදාගන්න පුළුවන්. නිදහස් මෘදුකාංගයක් නිසා මේක ඇතුලේ යකා නටන්න පුළුවන්. 

මේ කියන්න යන්නේ මගේ ගොන් කමක් තේරුම් ගන්න මට සෑහෙන කාලයක් ගිය විදිය ගැන සහ ඒ ගොන් කම තව කෙනෙක් කරන්න කලින් එකෙන් බේරාගෙන වේලාව ඉතුරු කරලා දෙන්න

මම මුලින් පාවිච්චි කාලේ උබුන්ටු. ආධුනික කෙනෙක් ගේ මුල්ම තේරීම උබුන්ටු හරි මින්ට් හරි තමයි. ටිකක් පරිණත වෙනකොට හිතෙන්න ගන්නවා නිදහස මදි කියලා. ඔන්න එතකොට අපිට ඕන වෙනවා දරුණු ගණයේ OS. අමු අමුවේ ගහන ඒව Arch ලිනක්ස් වගේ ඒව. 

කොහොම හරි Ubuntu දාපු ගමන් මම අයින් කළා. වෙන හේතුවක් නිසා නෙවෙයි ඒ දවස් වල මම දන්නේ නෑ සිංහල ෆොන්ට් පේන විදිය වෙනස් කරන්න පුළුවන් කියලා. උබුන්ටු වල සිංහල පේන්නේ වස කැත විදියට. ඇස් දෙකට හරි අමාරුයි. කියවන්න ආස හිතෙන්නේ නෑ.



දන්නේ නැති කමට මම වෙන වෙන ඒව install කර කර බැලුවා. අන්තිමේදී මට සෙට් උනා Manjaro linux එක. සිංහල නිකන් මුතු ඇට වගේ ලස්සනට පේනවා. පට්ට ලස්සනයි KDE කියන ඩෙස්ක්ටොප් එක නිසා. හැබයි ඒකෙත් කොස්සක් තියෙනවා. වැඩිය software නෑ. official ඒවා direct ගන්න නෑ. වෙන කෙනෙක් redistribute කරපු එකක් තමා ගන්න ඕන. නැත්නම් source code එකම ගන්න ඕන.මට ඕක වැඩිය ෂුවර් නෑ. ගූගල් ක්‍රෝම් උනත් support නෑ. (ලිනක්ස් දන්න එකෙක් මේක කියවලා කියයි ඇයි chromium තියෙන්නේ කියලා. නෑ.. බෑ.. මට ගූගල් ක්‍රෝම් ම තමයි ඕන. )  

අමාරුවෙන් වැඩ කරන්න ඕන නැහැනේ කියලා තව තව ඒව බැලුවා. ඔන්න යන්තම් කුබුන්ටු ඒ කියන්නේ උබුන්ටු එකේම වෙන flavour එකක් සෙට් උනා. 

Kubuntu තමයි වැඩිම කල් මම පාවිච්චි කරපු එක. ඔන්න ඔහොම ටික දවසක් යද්දි දැන් පොඩ්ඩ පොඩ්ඩ linux වල වැඩ දානකොට තමයි මට තේරුනේ මේ os වල එන built in font එකක් නිසා තමයි මේ සිංහල කැතට පේන්නේ කියලා. මේක ගැන හොයලා හොයලා හොයලා අන්තීමේ යන්තං විසදුමක් හොයා ගත්තා. 

එහෙනම් වැඩේට බහිමු.

1. මුලින් මේ සයිට් එකෙන් Noto sans sinhala  ෆොන්ට්ස් ඩවුන්ලෝඩ් කරගන්න. sinhala  කියල සර්ච් කරාම ඇති. 


zip ෆෝල්ඩර් එකක් විදියට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒක එහෙම තියන්න. 

2. දැන් Terminal එක Open කරලා, මේ Command එක ගහන්න

fc-list :lang=si

එතකොට මෙහෙම එකක් එයි

මේ කියන්නේ සිංහල ෆොන්ට්ස් දෙකක් තියෙනවා මගේ විදියට නම් ඔයාලට ඊට වඩා එන්න පුළුවන්.

3. ඒ එකින් එක අරගෙන delete  කරන්න. එහෙම නැත්නම් මගේ තියෙන විදියට නම් FreeSerif.ttf සහ lklug.ttf  කියන ෆොන්ට් අයින්  කරන්න ඕන  නම් 

sudo rm /usr/share/fonts/truetype/freefont/FreeSerif.ttf

sudo rm /usr/share/fonts/truetype/Sinhala/lklug.ttf

කියල ගැහුවම හරි. මෙහෙම ඔක්කොම තියෙන ෆොන්ට්ස් අයින් කරලා දාන්න. 
ඔක්කොම හරිද බලන්න ඕනා නම් 
fc-list :lang=si  
මේ කමාන්ඩ් එක ආයිත්  ගැහුවම මුකුත් එන්න බෑ

4. දැන් ගිහින් බලන්න font  manager  කියල ඇප්  එකක් තියෙනවද කියල.  තියෙනවා නම් ඕපන්  කර ගන්න නැත්නම් install  කරගන්න.

5. දැන් + එක ක්ලික් කරන්න 



6. යන්න අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆොන්ට් zip ෆයිල් දෙකට. දෙක වෙන වෙනම සිලෙක්ට් කරන්න.  දැන් මෙහෙම පෙන්න ඕන. 



7. දැන් ගිහින් වෙබ් බ්‍රව්සර් එක ඕපන් නම් ක්ලෝස් කරලා ආයිත් ඕපන් කරලා සිංහල සයිට් එකකට ගිහින් බලන්න.


මේ වගේ අකුරු රවුම් වෙලා ලස්සනට එයි. 


ඔන්න ඔහොම ඕනෑම linux  OS  එකකට ලස්සනට සිංහල පෙන්න හදා ගන්න පුළුවන්. මේක මමත් ඉගෙන ගත්තේ පහල තියෙන සයිට් වලින් .මේ බ්ලොග් දෙකම රසවත් විදියට පැහැදිලි කරනවා සිංහල ලස්සනට පෙන්නන විදිය.  මේ බ්ලොග් දෙකම දැන් පරණයි. ඒ නිසා කතාව මගේ අත්දැකීම් එක්ක අලුතින් ලියන්න ඕනා කියලා මම හිතුවා.