Showing posts with label අත්දැකීම්. Show all posts
Showing posts with label අත්දැකීම්. Show all posts

Sunday, September 20, 2020

2020 පොත් ප්‍රදර්ශනයට මාත් ගියා

 හැම අවුරුද්දෙම ගිහිපු පොත් ප්‍රදර්ශනේ මේ සැරේ නොගියොත් හරි නැති නිසා මාත් ගියා ඔන්න. යන්න කලින් කියල තිබුන විදියට ඔන්ලයින් රෙජිස්ටර් වෙලා ඊමේල් එකත් අරන් ගියා. හැබැයි කොතනින් වත් චෙක් කලේ නම් නෑ. බොරුවට පෝලිම් නම් තිබුනා මීටරේ පරතරේ තියාගන්න කියල. හැබැයි පිටිපස්සේ එකා හිටියේ කරේ.

අපේ මිනිස්සුන්ට පුදුම අමාරුවක් තියෙනවනේ පෝලිම් පනින්න. සිරිමාවෝ එක ඇතුලට යන්න තිබුන පෝලිමේ මම යද්දී නම් ගොඩක් අය හිටියේ නෑ. හැබැයි මිනිස්සු මගේ ඉස්සරහින් දන්නේ නැති ගානට ඇවිල්ල පෝලිමට එකතු වෙලා පස්ස බලන්නේ නැතිව හිටිය. ඒක මේ විනාඩි 5ක් වත් තිබුන පෝලිමක් නෙවෙයි හැබැයි අපේ මිනිස්සුන්ට පෝලිමක මැදින් පැනල ඉක්මනට ඇතුලට ගියා කියන තෘප්තිය හරි වටිනවා ඇති. මම හිතුව මේ වැඩේ කරන්නේ වයසක අය විතරයි කියල. ඒ අයට නම් හිටගෙන ඉන්න අමාරු නිසා කියල කියන්න පුළුවන්. කෙල්ලෝ හතර පස්දෙනෙක් පිරිවරාගෙන උස මහත කුකුලෙකුත් මගේ ඉස්සරහින් පෝලිමට ආවනේ. 

මම සාමාන්‍යයෙන් පොත් ප්‍රදර්ශනේට යන්නේ රෑ 7න් පස්සේ. එතකොට මිනිස්සු උදේ ඉදන් ඇවිදලා ඇවිදලා ගෙදර යන වෙලාව නිසා තෙරපෙනවා අඩුයි. නිදහසේ ඇවිදින්න පුළුවන්. හැබැයි මේ සැරේ නම් කාලෙකට පස්සේ සැහෙන සෙනගක් මම දැක්ක. මම ගියේ සෙනසුරාදා දවසක නිසාද මන්දා වෙනදට වඩා මට සෙනග ඉන්නවා කියල නම් හිතුන. 

ගොඩක් පොත් කඩවල් පොඩි ස්ටෝල් වලට මාරු වෙලා තියෙනවා වගේ තේරුණා. දයාවංශ ජයකොඩි එක පොඩි කඩයක් තිබුනේ.  හැම තැනම මාස්ක් දාන්න කියල බෝඩ් නම් ගහල තිබුන. මාස්ක් නැත්නම් කඩවල්  ඇතුලට ගන්නත් එපා කියල තිබුන.  හැබැයි ගොඩක් කඩවල් වල වැඩ කරන උන් මාස්ක් ගලවාගෙන  හිටියේ.

ෆොටෝ ටිකකුත් ගත්ත මතක් වෙන්න.  හැබැයි වැඩිය ගන්න ගියේ නෑ මම ෆොටෝ ගන්න ෆෝන් එක ඉස්සුවම ඉන්න මිනිස්සුන්ටත් ලැජ්ජයි මටත් නිකන් ලැජ්ජයි වගේ. අන්තිමේ වතුර මල ගාවට ගිහින් මම ෆොටෝ ටිකක් ගත්ත. කරුවලේ නිසා ඒ වැඩේ හරි ගියේ නෑ. 

අහ් මේ සැරේ මැගී  නුඩ්ල්ස් එක රු 100 කරලා තිබුන. වෙනදට නම් කනවා.  මේ සැරේ කෑම බීම මුකුත් ගත්තේ නෑ. යන්න කලින් බඩ පිරෙන්න කාල බීලා ගියා. 









Monday, September 14, 2020

මාර්ග නීති කෝලම




ප්‍රමුඛතා මංතීරු නීතියට පින් සිද්ද වෙන්න වෙනදට විනාඩි තිහෙන් එන ගමන අද පැය එකහමාරකුයි විනාඩි තිහකට පස්සේ යන්තම් ඔෆිස් එකට ආව. සමහරු එද්දී දහය පහු උනා. 
පුදුම සතුටක් දැනෙන්නේ. බස් එකේ මම හිත හිත ආවේ ලංකාවේ දේශපාලනේ විතරක් නෙවෙයි උඩ ඉන්න තීරණ ගන්න රජයේ නිලධාරිනුත් ගොන් හරක් කියල හිත හිත. සමහර විට ටික දවසක් යද්දී මේකට පුරුදු වෙලා ආයිත් ට්‍රැෆික් එක අඩු වෙයි. නීති දැම්මාට වරදක් නැත. පිස්සු බල්ලෝ වගේ එලවන බස් ටික නිසා මුළු රථවාහන පද්දතියම අවුල් වෙනවා කියන එක මටත් තේරෙනවා. හැබැයි ගොන් හරක් වගේ නීති දාන්න කලින් යටිතල පහසුකම් සහ පොදු ප්‍රවාහන සේවාව මීට වඩා ගොඩක් දියුණු කළා නම් ඔය නීති මෙච්චර අමාරුවෙන් ක්‍රියාත්මක කරන්න දගලන්න ඕනෙත් නෑ. මිනිස්සුන්ට මේ වගේ දැනෙන එකකුත් නෑ.

හිතන්න දවසකට කොළඹට ලක්ෂ ගානක් වාහන එනවා. මම හිතන්නේ සියට අසුවක් අයගෙන් පෞද්ගලික වාහනෙන් එන්නේ තමන් විතරයි. එක පුද්ගලයට එක වාහනේ ගානේ කොළඹට එනකොට ට්‍රැෆික් එකක් එනවා තමයි. එහෙම එන්නේ ඇයි ?

සල්ලි තියෙන මිනිස්සු බස් වල තෙරපිලා රස්තියාදු වෙලා දාඩිය දාගෙන එන්න කැමති නෑ. සල්ලි නැතත් ඔෆිස් එකට දාඩිය දාගෙන එන්න බැරි නිසා වාහනෙන් එන අයත් ඉන්නවා. මම දන්නා සමහර රජයේ සේවකයෝ ඉන්නවා ත්‍රිවිල් එකක් එලවාගෙන වැඩට එන. එතකොට මෙතන ප්‍රශ්නේ මාර්ග නීති වලද? 

මෙතන තියෙන්නේ chain reaction එකක්.  ඒ කියන්නේ එක දෙයක් නිසා දම්වැල වගේ එකට බැදිච්ච ප්‍රශ්න ගොඩක් හැදිලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. 

උදාහරණයක් විදියට- 
  1. උදේට අමාරුවෙන් වැඩට යන්න බෑ.
  2. වාහනෙන් එනවා.
  3. වාහන වැඩි වෙනවා
  4. මාර්ග නීති කැඩෙනවා
  5. මාර්ග අනතුරු වැඩි වෙනවා
  6. ට්‍රැෆික් වැඩි වෙනවා
  7. ට්‍රැෆික් එකේ ඉඳල සල්ලි නාස්ති වෙනවා 

මේ ඔක්කොම එකට බැදිච්ච දේවල්. මේකට බෙහෙත් කරන්න ඕන මැදින් නෙවෙයි මුලට. මුලට බෙහෙත දුන්නොත් එකත් chain  reaction  එකක් වෙනවා 

  1. බස් වල හොදට වැඩි වෙලා ඒසී එකේ ඔෆිස් යන්න පුළුවන් 
  2. වාහනෙන් එන පිරිස අඩු වෙනවා
  3. එන වාහන අඩු වෙනවා
  4. තද බදේ අඩු වෙනවා
  5. ඉක්මනට යන්න පුළුවන් වෙනවා
  6. මාර්ග නීති කැඩීම් අඩු වෙනවා
  7. අනතුරු අඩු වෙනවා
  8. තදබදය අඩු නිසා තෙල් වියදම අඩු වෙනවා

මේ සරල දේ තේරුම් අරන් හොදට වාඩි වෙලා යන්න පුළුවන් බස් සහ දුම්රිය සේවාවන් දියුණු කළොත් විතරයි මේක හදන්න පුළුවන්. එහෙම නැතිව හිසේ ඇම්මට කොට්ටෙ මාරු කරලා වැඩක් නෑ.

මේක තේරුම් ගන්න නිලධාරීන්ට බැහැ. තේරුම් ගන්න නිලධාරීන්ට ක්‍රියාත්මක කරන්න බැහැ.



Friday, August 28, 2020

ජංගම දුරකතනයක් මිලදී ගැනීමට පෙර - 2



මේ පෝස්ට් එක ලියන්න කලින් සෑහෙන දවස් අරන් හිතුවා මේ වගේ පෝස්ට් එකක් ලියන එකේ තේරුමක් තියෙනවද කියලා.  මේක කලින් පොස්ට් එකේ දෙවැනි කොටස.

කලින් පෝස්ට් එක ලිව්වේ දිගට මේ මාතෘකාව ගැන කතා කරනවා කියලා හිතලා ඒත් මට තේරුණා මේක තව මාස ගානකින් වලංගු නැතිව යනවා.ඒ නිසා හැමදාටම පොදු නැති දෙයක් ගැන  දිගට ලියන එක නවත්තන්න හිතුවා. 

මම කලින් පෝස්ට් එකේ කිව්වා ෆෝන් category තුනක් තියෙනවා කියලා. ඒ තුන වෙනස් වෙන්නේ නැතිව තියෙයි දිගටම. මෙන්න මේවා තමයි හැමදාම වලංගු වෙන දේවල්. ගන්න කලින් මේවා ගැන හිතන්න

  1. හොඳම ෆෝන් හොයන්න එපා. එහෙම එකක් නෑ. මොකක්ද හොඳම ෆෝන් එක කියන ඒක වැරදි ප්‍රශ්නයක්. ඒක අහන්න ඕන මගේ අතේ මෙච්චර ගානක් ෆෝන් එකකට වියදම් කරන්න පුළුවන් සල්ලි තියෙනවා මොකක්ද මේ ගානට ගන්න පුළුවන් හොඳ ෆෝන් එක. අවශ්‍යතාව අඳුරගෙන තමන්ගේ වියදමට හරි යන එකක් ගන්න.

  2.  ඔයා හෙන සල්ලි කාරයෙක් නෙවෙයි නම් high end ෆෝන් වලට යන්න එපා. සල්ලි අපරාදේ. ඒ ෆෝන් ඒකේ features වලින් බාගයක් සාමාන්‍ය කෙනෙක් පාවිච්චි කරන්නේ නැති බව හොදට බැලුවම තේරෙයි.  උදාහරණයක් විදියට ඉඳලා හිටල වත් ට්‍රිප් එකක් වත් යන්නේ නැති කෙනෙක් ෆොටෝ ගහන්නේ නැති කෙනෙක් කැමරා පහක විතර ෆෝන් එකක් ගන්න වියදම් කරන එක අපරාදේ. High end ෆෝන් ඇත්තටම ගහන්නේ කොම්පැණි අතර තමන්ගේ තත්වේ පෙන්නන්න. සල්ලි තියෙන මිනිස්සු ඒව පාවිච්චි කරන්නේ  තමන්ගේ තත්වේ පෙන්නන්න. එහෙම කෙනෙක්ට අද ෆෝන් එකක් අරන් හෙට විසික්කරන්න පුළුවන්. ඒත්  ඉතින් සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක් එහෙම ෆෝන් එකක් අරන් ඒ වියදම කවර් කරන්න මාස ගානක් හම්බ කරන ඕන. එහෙම එකක් ගත්තත් පරිස්සම් කරන්න තඩි cover එකක් දැම්මාම දකින කෙනෙක්ට සාමාන්‍ය ෆෝන් එකකින් වෙනස් කරලා අදුරන්න බැහැ. අනික ඒක නිකන් හරි කඩලා ගියොත් හදන්නත් වියදම වැඩි. හදන්න බැරි වුනොත් පාඩුව දරන්නත් අමාරුයි. ඒ වගේ ෆෝන් එකක් අරන් අවුරුදු ගානක් පරිස්සම් කර කර ඉන්නවාට වඩා හොදයි අඩු මිල ෆෝන් එකක් අරන් අවුරුද්දක් පාවිච්චි කරලා ඊළග අවුරුද්දේ එන අලුත්ම ෆෝන් එකකට මාරු වෙන එක. 

  3. අනිත් අයගෙන් උපදෙස් ගන්න එපා. ෆෝන් එකක් ගන්න ඕන මේ මේ දේවල් කරන්න කියන එක පුද්ගල අනුබද්ධ දෙයක්. හිතන්න game ගහන කෙනෙක්ගෙන් ෆොටෝ ගහන කෙනෙක් ඇහුවොත් මොකක්ද හොඳම ෆෝන් එක කියලා හරි උත්තරයක් ලැබෙන්නේ නෑ.

  4. තමන්ට ෆෝන් එකේ කරන්න ඕන මොනවද කියලා ලිස්ට් එකක් හදාගෙන ඒකට ගැලපෙන ෆෝන් එකක් ගන්න. Game ගහන කෙනෙක් නම් camera ගොඩක් තියෙන ෆොටෝ ගහන්නම හදපු ෆෝන් එකක් නැතිව හොඳ ram එකක් සහ GPU එකක් තියෙන ෆෝන් එකක් බලන්න.
     
  5. ෆෝන් එක mid range එකක් නම්  වටේ cover කරන්නේ නැතිව ඕන නම් screen guard එකක් දාගෙන ෆෝන් ඒකේ රියල් experience එක ගන්න. බර වැඩ කරන කෙනෙක් නම් එහෙම කලට කමක් නෑ. ගොඩක් හිනී ෆෝන් එකක් අරන් තඩි cover එකක් දැම්මාම පරණ කාලේ ගෙඩිය වගේ ටීවී එකක් අතේ අරන් යනවා වගේ. මීඩ් range ඒව ගණන් අඩු නිසා වැටිලා කඩලා ගියත් අලුත් එකක් ගන්න පුළුවන්. 

  6. ගන්න ෆෝන් වලට පණ වගේ ආදරේ කරන්න එපා. එකේ කිසිම තේරුමක් නෑ. Technology එක වෙනස් වෙලා අලුත් ඒව එළියට එනවා. ඒ නිසා ගන්න ෆෝන් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අරන් ටික කාලෙකින් අලුත් එකක් ගන්නවා කියලා හිතාගෙන පාවිච්චි කරන්න. 

  7. පුළුවන් තරම් OLED හරි AMOLED හරි ඩිස්ප්ලේ තියෙන ෆෝන් ගන්න. ඒවලින් ඇහැට පෙන්නේ ඇත්තම වර්ණ. LCD ඒව ගොඩක් ගණන් අඩුයි. ඒත් ඒවට අහු වෙන්නේ එපා. ඇස් වලටත් අමාරුයි. 
  8. තනියම Research කරන්න. https://www.gsmarena.com/ වගේ සයිට් වලට ගිහින් ෆෝන් අනිත් ඒවත් එක්ක compare කරලා බලන්න. 

  9. ෆෝන් එකක් inernet එක බලලා, ගන්නවා කියලා එක සැරේට තීරණය කරන්න එපා. දැන් කඩවල්  box වලින් එළියට අරන් බලන්න දෙන්නේ නැති නිසා showroom එකකට ගිහිල්ලා පොඩ්ඩක් අතපත ගාලා බලන්න.

  10. Camera වෙන් වැඩක් ගන්න හිතන කෙනෙක් නම් සෑහෙන හොයන්න ෆොටෝ quality එක ගැන. සමහර ෆෝන් තියෙනවා ලොකුවට කැමරා ගොඩක් සහ MP ගාන ලොකු උනාට quality එක අඩුවෙනවා. එහෙම වෙන්නේ ඇතුලේ chip ඒවා හොඳ නැති නිසා. Camera ගැන කතා කරන්න වෙනම පෝස්ට් එකක් ලියන්නම්.



Image by Foundry Co from Pixabay








Sunday, June 21, 2020

උබුන්ටු නම් එපා...

Bad Ubuntu, Bad | Differently Social


අනේ මන්ද මගේ පොස්ට් එන්න එන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව යයි කියලත් බය හිතෙනවා. මේ ටිකේම ලිව්වේ තාක්ෂණික දේවල්. ඊලග පොස්ට් එකේ වත් කාට හරි බනින්න ඕන.

කොහොම හරි කලින් පොස්ට් එකේ දැම්මේ උබුන්ටු ලිනක්ස් වලට සිංහල දා ගන්න විදිය. අද ලියන්නේ ඇයි මම උබුන්ටු පාවිච්චි නොකරන්නේ කියල. කලින් පොස්ට් එකේ කිව්වා වගේම මට තියෙන ලිනක්ස් අමාරුව නිසා දවස ගානේ මම os  මාරු කරනවා. දැන් ඒක අඩු වෙලා. එක එක ඒවා පාවිච්චි කරලා අන්තිමට උබුන්ටුම ආයිත් දාගෙන සතියක් ගියේ නෑ ගලවලා දාල  මින්ට් ලිනක්ස් දාගත්තා.

ඇයි එහෙම කලේ කියල කියනවා නම්, 

1. මට operating system  එකක ලස්සනත් ඕනා වැඩ කිඩත් ඕනා. වැඩ තියෙන ඒවයේ ලස්සන නෑ ලස්සන තියෙන ඒ්වයේ වැඩ නෑ. උබුන්ටු දා ගත්තේ ඒකේ පෙනුම ලස්සන සහ පහසු නිසා. දගලලා දඟලල සිංහල පේන විදියත් යන්තම් හදා ගත්තා. ඒත් ටික දවසක් යද්දී තේරුණා සිංහල විතරක් නෙවෙයි ඉංග්‍රීසිත් බලන්න අමාරුයි කියලා. ඇහැට හරි අමාරුයි. ඉංග්‍රීසි නේ වැඩියෙන් බලන්නේ. සිංහල පාවිච්චි වෙන්නේ බ්ලොග් එක ලියන්න විතරයි.

2. ටික දවසක් යද්දී මට තේරුණා පිරිසිදු ලිනක්ස් වල experience  එක උබුන්ටු වලින් එන්නේ නෑ කියල. 

3. අනවශ්‍ය වල් පල් services විශාල ගානක් නිකන් run  වෙනවා. ඒ නිසා  හෙන resources  ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නිකන් machine  එක රත් කරන්නේ මොකටද?

4. ලිනක්ස් වල පදනම open source උනාට උබුන්ටු යන පාර windows  යන පාරම තමයි කියල මට එකේ app store එක බැලුවම හිතෙන්න ගත්ත. මීට කලින් උබුන්ටුලා app  store  එකට amazon ඇඩ් දාන්න ගිහින් නා ගත්ත. දැන් snap store   කියල එකක් දාගෙන. ඒකේ තියෙන්නේ opan  source  ඒවාට වඩා proprietary ඒවා.   

5. අනිත් ඩිස්ට්‍රො වගේ නෙවෙයි customization කරන්න හරියට දඟලන්න ඕනා. අපි දෙන්නේ මෙච්චරයි, එක්කෝ ඉඳපන් නැත්නම් පල කියන්න වගේ තමයි ඒක හදලා තියෙන්නේ. හරියට අපල් වගේ.

මින්ට් ලිනක්ස් දාගත්තම මට ආයිත් හරි සැහැල්ලුවක් දැනුන. නිකන් කාලේකට පස්සේ ගමේ ගියාම එනවා වගේ. ඔක්කොම හුරු පුරුදු දේවල් හරිම ලේසියෙන් එහේ මෙහේ යන්න පුළුවන්. දන්න අඳුරන දේවල් තියෙන්නේ. ඒ සතුටට තමයි එකෙන්ම මේ පොස්ට් එක ලිව්වේ. මම හිතන්නේ මම ආයේ නම් උබුන්ටු දාන එකක් නෑ එච්චරට එපා උනා.
ඇත්තටම මින්ට් කියන්නෙත් උබුන්ටු එකේ කොපියක් තමයි. මම හිතන් ඉන්නේ ටික දවසක් ගිහින් තව මේක ඇගට අල්ලලා ගියාම arch linux  හරි debian  එකක් හරි දාගන්නවා කියලා. 

වෙන ලිනක්ස් පාවිච්චි කරලා උබුන්ටු වලට ආවම නිකන් සාංකාවක් වගේ එනවා. සිස්ටම් එක බරයි කියල තේරෙනවා.  ඒත් කැපුවත් උබුන්ටු කියන අය ඉන්නවා. die hard fans. ඒ වගේම සමාජ මාධ්‍ය වල (youtube) උබුන්ටු වලට පලු යන්න බනින අය ඉන්නවා. සමහරු කියන්නේ මේ විදියට මිනිස්සු දම්මල බනින්නේ උබුන්ටු හොද operating  සිස්ටම් එකක් විදියට ජනප්‍රිය වෙන එක නවත්වන්න ඇපල් සහ මයික්‍රොසොෆ්ට් සමාගම් වල යටි කූට්ටු වැඩ කියල. හැබැයි distrowach වලට අනුව නම් මේ ටිකේම උබුන්ටු ඉන්නේ පහලින්. 

කොහොමත් ලිනක්ස් ලෝකේ ඩිස්ට්‍රො පාවිච්චි කරන අය අතර එක මතයක් නෑ. ඒකට හේතුව එක එක ඩිස්ට්‍රො ඒවා එක එක අයගේ අවශ්‍යතාවයට හදලා තියෙන්නේ. ලිනක්ස් කියන්නේ වෙනම උප සංස්කෘතියක්. Open source, privacy , free software වගේ දේවල් උඩ මේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ. මොකද මේ linux කියන්නේ microsoft සහ apple වලටත් අභියෝග කරන සමාජය තුළින්ම හැදුන විප්ලවයක්. ඒකයි කිසිම වෛරස් එකකට මේකට attack කරන්න බැරි. නමුත් මේ සංස්කෘතිය තුළින්ම ඉපදිලා හැදිලා වැඩිලා ඒකට විරුද්ධව, එරෙහිව උබුන්ටු ගමනක් යනවා වගේ. තව දුරටත් එහෙම ගියොත් නම් මේකට වැඩි ආයුෂ නැති වෙයි. 







Thursday, June 18, 2020

උබුන්ටු වල සිංහල පේනවා අවුල්ද?




මට කොහොමත් linux අමාරුව තියෙනවා කියලා දන්නෝ දනිති. පහුගිය ටිකේම කලේ එක එක ජාතියේ linux distributions ඩවුන්ලෝඩ් කර කර බලන එක. මට ඕන උනේ සදහටම බාවිතා කරන්න හොදම එකක් තෝරා ගන්න. linux expert නොවුනට අන්තිමේ දී මට පරම සත්‍ය අවබෝධ උනා. ඒ කියන්නේ ඔක්කොම ජාති එකයි. 

Debian, Ubuntu , Lubuntu, Kubuntu, Mint, Zorin, Popos, Elementary os , Manjaro, Redhat,  Knopix, Puppy linux, Fedora.. 

එකී මෙකී නොකී ඔක්කොම මම අත්හදා බැලුවා. පාඩුවක් උනේ නෑ. කවුරු හරි මුලින් කිව්වා නම් මචන් ඔක්කොම linux os එකම තමයි කිව්වා නම් මම පිළිගන්නේ නෑ. ඒත් install කරලා කරලා වරු ගණන් චාටර් වෙලා අවුල් ගිහිල්ලා ගුග්ල කරලා උත්තර හොයලා ගත්ත අත්දැකීමෙන් අන්තිමේ මම ඒක තේරුම් ගත්තා. ගින්දරට අත පිච්චෙනකන් පොඩි එවුන්ට ගින්දර එහෙම අල්ලන්න එපා කිව්වට අහන්නේ නැහැනේ. අන්න ඒ වගේ.

වෙනස තියෙන්නේ බාවිතා කරන package සහ desktop  environment  එක වෙනස් වෙන එක විතරයි. ලිනක්ස් කර්නල් එක වෙනසක් නෑ. Windows වගේ නෙවෙයි ලිනක්ස් වලදී අපිට කැමති distribution එකක් අරන් අපිට ඕන විදියට අපේ os එකක් හදාගන්න පුළුවන්. නිදහස් මෘදුකාංගයක් නිසා මේක ඇතුලේ යකා නටන්න පුළුවන්. 

මේ කියන්න යන්නේ මගේ ගොන් කමක් තේරුම් ගන්න මට සෑහෙන කාලයක් ගිය විදිය ගැන සහ ඒ ගොන් කම තව කෙනෙක් කරන්න කලින් එකෙන් බේරාගෙන වේලාව ඉතුරු කරලා දෙන්න

මම මුලින් පාවිච්චි කාලේ උබුන්ටු. ආධුනික කෙනෙක් ගේ මුල්ම තේරීම උබුන්ටු හරි මින්ට් හරි තමයි. ටිකක් පරිණත වෙනකොට හිතෙන්න ගන්නවා නිදහස මදි කියලා. ඔන්න එතකොට අපිට ඕන වෙනවා දරුණු ගණයේ OS. අමු අමුවේ ගහන ඒව Arch ලිනක්ස් වගේ ඒව. 

කොහොම හරි Ubuntu දාපු ගමන් මම අයින් කළා. වෙන හේතුවක් නිසා නෙවෙයි ඒ දවස් වල මම දන්නේ නෑ සිංහල ෆොන්ට් පේන විදිය වෙනස් කරන්න පුළුවන් කියලා. උබුන්ටු වල සිංහල පේන්නේ වස කැත විදියට. ඇස් දෙකට හරි අමාරුයි. කියවන්න ආස හිතෙන්නේ නෑ.



දන්නේ නැති කමට මම වෙන වෙන ඒව install කර කර බැලුවා. අන්තිමේදී මට සෙට් උනා Manjaro linux එක. සිංහල නිකන් මුතු ඇට වගේ ලස්සනට පේනවා. පට්ට ලස්සනයි KDE කියන ඩෙස්ක්ටොප් එක නිසා. හැබයි ඒකෙත් කොස්සක් තියෙනවා. වැඩිය software නෑ. official ඒවා direct ගන්න නෑ. වෙන කෙනෙක් redistribute කරපු එකක් තමා ගන්න ඕන. නැත්නම් source code එකම ගන්න ඕන.මට ඕක වැඩිය ෂුවර් නෑ. ගූගල් ක්‍රෝම් උනත් support නෑ. (ලිනක්ස් දන්න එකෙක් මේක කියවලා කියයි ඇයි chromium තියෙන්නේ කියලා. නෑ.. බෑ.. මට ගූගල් ක්‍රෝම් ම තමයි ඕන. )  

අමාරුවෙන් වැඩ කරන්න ඕන නැහැනේ කියලා තව තව ඒව බැලුවා. ඔන්න යන්තම් කුබුන්ටු ඒ කියන්නේ උබුන්ටු එකේම වෙන flavour එකක් සෙට් උනා. 

Kubuntu තමයි වැඩිම කල් මම පාවිච්චි කරපු එක. ඔන්න ඔහොම ටික දවසක් යද්දි දැන් පොඩ්ඩ පොඩ්ඩ linux වල වැඩ දානකොට තමයි මට තේරුනේ මේ os වල එන built in font එකක් නිසා තමයි මේ සිංහල කැතට පේන්නේ කියලා. මේක ගැන හොයලා හොයලා හොයලා අන්තීමේ යන්තං විසදුමක් හොයා ගත්තා. 

එහෙනම් වැඩේට බහිමු.

1. මුලින් මේ සයිට් එකෙන් Noto sans sinhala  ෆොන්ට්ස් ඩවුන්ලෝඩ් කරගන්න. sinhala  කියල සර්ච් කරාම ඇති. 


zip ෆෝල්ඩර් එකක් විදියට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒක එහෙම තියන්න. 

2. දැන් Terminal එක Open කරලා, මේ Command එක ගහන්න

fc-list :lang=si

එතකොට මෙහෙම එකක් එයි

මේ කියන්නේ සිංහල ෆොන්ට්ස් දෙකක් තියෙනවා මගේ විදියට නම් ඔයාලට ඊට වඩා එන්න පුළුවන්.

3. ඒ එකින් එක අරගෙන delete  කරන්න. එහෙම නැත්නම් මගේ තියෙන විදියට නම් FreeSerif.ttf සහ lklug.ttf  කියන ෆොන්ට් අයින්  කරන්න ඕන  නම් 

sudo rm /usr/share/fonts/truetype/freefont/FreeSerif.ttf

sudo rm /usr/share/fonts/truetype/Sinhala/lklug.ttf

කියල ගැහුවම හරි. මෙහෙම ඔක්කොම තියෙන ෆොන්ට්ස් අයින් කරලා දාන්න. 
ඔක්කොම හරිද බලන්න ඕනා නම් 
fc-list :lang=si  
මේ කමාන්ඩ් එක ආයිත්  ගැහුවම මුකුත් එන්න බෑ

4. දැන් ගිහින් බලන්න font  manager  කියල ඇප්  එකක් තියෙනවද කියල.  තියෙනවා නම් ඕපන්  කර ගන්න නැත්නම් install  කරගන්න.

5. දැන් + එක ක්ලික් කරන්න 



6. යන්න අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆොන්ට් zip ෆයිල් දෙකට. දෙක වෙන වෙනම සිලෙක්ට් කරන්න.  දැන් මෙහෙම පෙන්න ඕන. 



7. දැන් ගිහින් වෙබ් බ්‍රව්සර් එක ඕපන් නම් ක්ලෝස් කරලා ආයිත් ඕපන් කරලා සිංහල සයිට් එකකට ගිහින් බලන්න.


මේ වගේ අකුරු රවුම් වෙලා ලස්සනට එයි. 


ඔන්න ඔහොම ඕනෑම linux  OS  එකකට ලස්සනට සිංහල පෙන්න හදා ගන්න පුළුවන්. මේක මමත් ඉගෙන ගත්තේ පහල තියෙන සයිට් වලින් .මේ බ්ලොග් දෙකම රසවත් විදියට පැහැදිලි කරනවා සිංහල ලස්සනට පෙන්නන විදිය.  මේ බ්ලොග් දෙකම දැන් පරණයි. ඒ නිසා කතාව මගේ අත්දැකීම් එක්ක අලුතින් ලියන්න ඕනා කියලා මම හිතුවා.