Monday, September 14, 2020

මාර්ග නීති කෝලම




ප්‍රමුඛතා මංතීරු නීතියට පින් සිද්ද වෙන්න වෙනදට විනාඩි තිහෙන් එන ගමන අද පැය එකහමාරකුයි විනාඩි තිහකට පස්සේ යන්තම් ඔෆිස් එකට ආව. සමහරු එද්දී දහය පහු උනා. 
පුදුම සතුටක් දැනෙන්නේ. බස් එකේ මම හිත හිත ආවේ ලංකාවේ දේශපාලනේ විතරක් නෙවෙයි උඩ ඉන්න තීරණ ගන්න රජයේ නිලධාරිනුත් ගොන් හරක් කියල හිත හිත. සමහර විට ටික දවසක් යද්දී මේකට පුරුදු වෙලා ආයිත් ට්‍රැෆික් එක අඩු වෙයි. නීති දැම්මාට වරදක් නැත. පිස්සු බල්ලෝ වගේ එලවන බස් ටික නිසා මුළු රථවාහන පද්දතියම අවුල් වෙනවා කියන එක මටත් තේරෙනවා. හැබැයි ගොන් හරක් වගේ නීති දාන්න කලින් යටිතල පහසුකම් සහ පොදු ප්‍රවාහන සේවාව මීට වඩා ගොඩක් දියුණු කළා නම් ඔය නීති මෙච්චර අමාරුවෙන් ක්‍රියාත්මක කරන්න දගලන්න ඕනෙත් නෑ. මිනිස්සුන්ට මේ වගේ දැනෙන එකකුත් නෑ.

හිතන්න දවසකට කොළඹට ලක්ෂ ගානක් වාහන එනවා. මම හිතන්නේ සියට අසුවක් අයගෙන් පෞද්ගලික වාහනෙන් එන්නේ තමන් විතරයි. එක පුද්ගලයට එක වාහනේ ගානේ කොළඹට එනකොට ට්‍රැෆික් එකක් එනවා තමයි. එහෙම එන්නේ ඇයි ?

සල්ලි තියෙන මිනිස්සු බස් වල තෙරපිලා රස්තියාදු වෙලා දාඩිය දාගෙන එන්න කැමති නෑ. සල්ලි නැතත් ඔෆිස් එකට දාඩිය දාගෙන එන්න බැරි නිසා වාහනෙන් එන අයත් ඉන්නවා. මම දන්නා සමහර රජයේ සේවකයෝ ඉන්නවා ත්‍රිවිල් එකක් එලවාගෙන වැඩට එන. එතකොට මෙතන ප්‍රශ්නේ මාර්ග නීති වලද? 

මෙතන තියෙන්නේ chain reaction එකක්.  ඒ කියන්නේ එක දෙයක් නිසා දම්වැල වගේ එකට බැදිච්ච ප්‍රශ්න ගොඩක් හැදිලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. 

උදාහරණයක් විදියට- 
  1. උදේට අමාරුවෙන් වැඩට යන්න බෑ.
  2. වාහනෙන් එනවා.
  3. වාහන වැඩි වෙනවා
  4. මාර්ග නීති කැඩෙනවා
  5. මාර්ග අනතුරු වැඩි වෙනවා
  6. ට්‍රැෆික් වැඩි වෙනවා
  7. ට්‍රැෆික් එකේ ඉඳල සල්ලි නාස්ති වෙනවා 

මේ ඔක්කොම එකට බැදිච්ච දේවල්. මේකට බෙහෙත් කරන්න ඕන මැදින් නෙවෙයි මුලට. මුලට බෙහෙත දුන්නොත් එකත් chain  reaction  එකක් වෙනවා 

  1. බස් වල හොදට වැඩි වෙලා ඒසී එකේ ඔෆිස් යන්න පුළුවන් 
  2. වාහනෙන් එන පිරිස අඩු වෙනවා
  3. එන වාහන අඩු වෙනවා
  4. තද බදේ අඩු වෙනවා
  5. ඉක්මනට යන්න පුළුවන් වෙනවා
  6. මාර්ග නීති කැඩීම් අඩු වෙනවා
  7. අනතුරු අඩු වෙනවා
  8. තදබදය අඩු නිසා තෙල් වියදම අඩු වෙනවා

මේ සරල දේ තේරුම් අරන් හොදට වාඩි වෙලා යන්න පුළුවන් බස් සහ දුම්රිය සේවාවන් දියුණු කළොත් විතරයි මේක හදන්න පුළුවන්. එහෙම නැතිව හිසේ ඇම්මට කොට්ටෙ මාරු කරලා වැඩක් නෑ.

මේක තේරුම් ගන්න නිලධාරීන්ට බැහැ. තේරුම් ගන්න නිලධාරීන්ට ක්‍රියාත්මක කරන්න බැහැ.



No comments: