Saturday, June 27, 2020

තමන් හිසට තම අතමය සෙවනැල්ල

Virtuvian Ventures Pvt. Ltd. - Best Software development Company ...

ආපහු හැරිලා බැලුවම පොඩි කාලේ ඉදන් මගේ ජිවිතේ ප්‍රධාන පියවරවල් මම අරන් තියෙන්නේ අනික් අයට වඩා ඉකමනට. හැබැයි උසස් පෙලින් ඒක වෙනස් උනා. එතන ඉදන් මම අනිත් අයට පස්සේ තමයි ජිවිතේ ප්‍රධාන කණු පහු කරන්නේ. 

කෙලින්ම මම ඇඟිල්ල  දික් කරන්නේ ඒ කාලේ අපේ රටේ තිබුන කාලකන්නි අධ්‍යාපන ක්‍රමයට. ඒ නිසා මට බැරි උනා මගේ හැකියාවට හරියන පාරේ යන්න. මට පොඩි කාලේ ඉදන් තිබුනා ඉලෙක්ට්‍රොනික් සහ පරිගණක පිස්සුවක්.  මම ඉස්කෝලේ යන කාලේ කැමැත්තෙන්ම කරපු එකම විෂය ඒක. යන්තම් ඒක ඕ ලෙවල් වලට තිබුනා අපේ ඉස්කෝලෙට පින් සිද්ද වෙන්නේ. ඒකට A එකක් ගත්ත කියන එක ගැන මම සතුටු උනා. අනිත් ඒවටත් A තිබුනට මට කිසි ගතියක් දැනුනේ නෑ. 

හැබැයි ඉතින් ඕ ලෙවල් උගන්නපු ඉලෙක්ට්‍රොනික් මට නිකන් ඒ කාලේ හෝඩි පොත වගේ. ඒ වෙද්දී මම සැහෙන ඇඩ්වාන්ස්. දවසක් අපිට උගන්නපු ගුරුතුමා කිව්වා මෙන්න මේ සර්කිට් එක හදාගෙන එන්න කියල. මට මතකයි එක කොල්ලෙක් අඩි දෙකක විතර ලොකු සර්කිට් බෝඩ් එකක් උස්සන් ආවා. ඒක හරියට වැඩ කලේ නෑ. මම මගේ සර්කිට් එක අරන් ගියේ ගිනි පෙට්ටියක දාගෙන. උගන්නපු ගුරුතුමාට හෙන කික් ඒක දැකල.

කොහොම හරි මට ඕන උනා ඒ පැත්තෙන් යන්න ඉස්සරහට ඒත් මම ලොකු සල්ලිකාර පවුලක කොල්ලෙක් නොවුන නිසා මට තිබුන එකම පාර රජයේ කැම්පස් එක. ඉතින් තාක්ෂණික පැත්තේ කැම්පස් කෝස් එකක් කරන්න නම් maths කරන්න ඕනනේ. දැන් එහෙම නෑ. ඒ කාලකන්නි කාලේ එහෙමයි. 

හැබැයි පොඩි කාලේ ඉදන් ගණන් නම් මට පෙන්න බෑ. දක්ෂතාව නෑ. අන්තිමේ මගේ ජිවිතේ අවුරුදු තුනක්  නාස්ති උනා ගණන් හද හද ඉඳලා. වෙන රටක හිටිය නම් එහෙම වෙන්නේ නෑ. තමන් කැමති දෙයින් ඉස්සරහට යන්න පුළුවන්. අද මම Senior Software Engineer කෙනෙක් විදියට ගණන් හදලා කැම්පස් ගිය අයට වඩා ලොකු තැනක ඉන්නවා. හැමදාම මම හිතන දෙයක් තමයි අවකලනය අනුකලනය ජ්‍යාමිතිය හද හද හිටපු අවුරුදු තුනේ මම අලුත් programming language ටිකක් ඉගෙන ගත්ත නම් අද මීටත් වඩා දෙයක් කරන්න තිබුනා කියලා. 

programming language සමහර ඒවා ඉගෙන ගන්න ගේමක් දෙන්න ඕන. ඉගෙන නොගෙන ඉන්නත් බෑ. ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න නම් අලුත් දේවල් ඔක්කොම ඉගෙන ගන්න ඕන. ඒක තමයි මේ ෆීල්ඩ් ඒකේ තියෙන අවුල. කොන් වෙනවා නැත්නම්. වටිනාකම නැතිව යනවා. මට ඉස්සර ඉදන් කවුරු හරි කියල දෙන දෙයක් ඔලුවට යන්නේ අඩුවෙන්. මම වැඩියෙන්ම දක්ෂ මොබයිල් ඇප් වලට උනත් අනිත් දේවලුත් අකමැත්තෙන් උනත් ඉගෙන ගන්න ඕන.  දැන් මම සති ගානක් තිස්සේ MEAN STACK (තේරෙන්නේ නැති ය වැඩිය හිතන්න එපා. වෙබ් සයිට් එකක් හදන විදියක් කියල හිතා ගන්නකෝ ) වීඩියෝ බලල ඉගෙන ගන්න හැදුව. හරි ගියේ නෑ. අන්තිමේ ගත්ත ෆුල් කෝඩ් එක තියෙන කලින් හදපු ප්‍රොජෙක්ට් එකක්. ඒක බලාගෙන හැදුව. මට දවසෙන් ට්‍රැක් එක අල්ල ගන්න පුළුවන් උනා. 

මට එතකොට තේරුණා මගේ ඉගෙන ගන්න විදිය කෑලි වලට ගලවල හදලා මිසක් මුල ඉදන් පොඩ්ඩ පොඩ්ඩ නෙවෙයි කියන එක. මේක තේරුම ගන්න මගේ ජීවිතෙන් ලොකු කාලයක් ගියා. අපිට ලංකාවේ මේක තෙරුන් ගන්න කල් ගියාට පිටරට ළමයින්ට පොඩි කාලෙම නිදහස දෙනවා තමන්ව තේරුම ගන්න.  

ඒ කියන්නේ තමන් මොන පැත්තෙන්ද යන්න ආස , තමන් මොන විදියටද ඉගෙන ගන්න ඕන කියන ඒදේ හිතන්න උන්ට නිදහස තියෙනවා. අපිට ඒ නිදහස තිබුනේ නෑ. මම දන්නේ නෑ  තාමත් ඒක තියෙනවද කියල. අපිව එක වසරේ  කාලේ ඉදන් ශිෂ්‍යත්වෙට තමයි ටාගට් කලේ. ඊටපස්සේ ඕ ලෙවල් , ඊට පස්සේ ඒ ලෙවල්. ඔය තුන ගොඩ දැම්මම හරි කියල තමයි හැමෝම හිතන්නේ. ඒත් ඔය රැල්ලට ගියාම වෙන දේ තමයි දැන් ලංකාවට වෙලා තියෙන දේ දැක්කම තේරෙන්නේ. කවුරු වත් තමන් කැමති දේ නෙවෙයි  කරන්නේ. මරන්න වගේ ඔෆිස් යන්නේ. එතන ගියාට කැමැත්තෙන් වැඩ කරන්නේ නෑ. 

හොද වෙලාවට මම මේකෙන් අපගමනය උනා. බැංකු දෙකක වැඩ කරපු  කරපු මම ඒ දෙකෙන්ම අස් උනා, ඒක මට හරි ගියේ නෑ, ඊට පස්සේ රජයේ රස්සාවක් කරන ගමන්  ගෙදර මිනිස්සුන්ගේ බැනුම් අහගෙන මම තොරතුරු තාක්ෂණ උපාධියක් කරා. උපාධිය අරන් රජයේ රස්සාවෙන් අස් වෙලා පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට ජොබ් එකකට යද්දී  හැමෝම හිතුවේ මට කෙල වෙයි කියල.  රජයේ රස්සාවෙන් අස් වෙන මොඩය කියල හැමෝම හිතුව කිව්වා. ගෙදර මිනිස්සු බැන්න. මෘදුකාංග ඉංජිනේරුවෝ විදියට ඒ වෙත්දී වැඩ කරන යාලුවෝ පවා හිතුවේ, කිව්වේ එහෙමයි . එහෙම උනේ නෑ . ඒකට හේතුව උන්ට වගේ නෙවෙයි මට ඔෆිස් එකේ වැඩ වදයක් නෙවෙයි මොකද මගේ ඇගේ තියෙන්නේ ඒක, මම ආස ඒක. එක කරන්න.  එහෙම බැලුවම මම ගත්ත තීරණ ගැන මම සතුටු වෙනවා. ආඩම්බර වෙනවා. (පඩිය ගැන කතා නොකර ඉමු. හොයල බලන්න කැමති කෙනෙක් මෘදුකාංග ඉංජිනේරු කෙනෙක් ගේ පඩිය.) හැබැයි දැන් මට ගෙදර අය කියන්නේ අර අහවල් එක්කෙනාගේ පුතාත් IT  වැඩ කරන්නේ, ඔයාට වඩා ලැබෙනවනේ එයාට කියල. එතකොට මම මතක් කරලා දෙනවා රජයේ රස්සාවෙන් අස් වෙනකොට මට බැනපු හැටි සහ එතකොට ලැබුන පඩිය. 😅

මම කියන්නේ කවුරු මොනවා කිව්වත් තමන් කැමති වඩු වැඩට නම් වඩු වැඩ කරන්න, අසාවෙන් එක කලොත් ඒකෙන් උනත් උඩට යනවා ෂුවර්. හැබැයි තාමත් ලංකාවේ අම්මල තාත්තලට ඕන දරුවා බැංකු කරුවෙක් , වෛද්‍යවරයෙක් , ඉංජිනේරු වරයෙක් කරන්න. මට කියන්න අයිතියක් නෑ දෙමවුපියෝ කියන දේ අහන්න එපා කියල. හැබැයි අමාරුවෙන් හරි තමන් කැමති දෙයක් කරලා ගොඩ ගියොත් කොච්චර බැන්නත් දෙමවුපියෝ  අන්තිමේ සතුටු වෙනවා.




Wednesday, June 24, 2020

පුංචි පුරුදු - Mini Habits




සමහර විට ඔයාලට හිතිලා ඇති අද කරන්න හිතා ගත්ත දේවල් එකක් වත් කරන්න බැරි උනා. අද කිසිම පලදායිව ගත කලේ නෑ කියල හැඟීමක්. (පට්ට කම්මැලියෙක් නෙවෙයි නම්) මිනිස්සු හැමෝටම හිතෙනවා ඇති කියල මම හිතෙනවා තමන් කැමති හොද පුරුදු. හැබැයි ඒවා කරන්න වෙන්නේ නෑ.
උදාහරණයක් විදියට..
සල්ලි ඉතුරු කරන්න, 
පොතක් කියවන්න,
ව්‍යායාම කරන්න,
කෑම පාලනේ කරන්න,
බොන එක නවත්තන්න 
අලුත් භාෂාවක් ඉගෙන ගන්න 
අලුත් දෙයක් ඉගෙන ගන්න
භාවනා කරන්න
කාමරේ සුද්ද කරන්න 😅


දහසක් කරන්න දේවල් තියෙනවා හැබැයි කරන්නේ නෑ. ඇයි ? මම දන්නවා ලෙඩක් දුකක් නැත්නම් සාමාන්‍ය කෙනෙක් කියන්නේ අපිට වෙලාව නෑ කියල. 

මටත් එහෙමයි. මට උදේ නැගිට්ටම හෙන ගොඩක් හොඳ පුරුදු ඇති වෙන දේවල්  කරන්න ඕන කියල හිතෙනවා හැබැයි එවයින් රෑ වෙද්දී එකක් වත් කරන්න බෑ වෙලාවක් නෑ . මොකක්ද මේ ජිවිතේ කියල බලාපොරොත්තු කඩ වෙනවා.

හැබැයි එහෙම වෙන්නේ ඇත්තටම මිනිස්සු වෙන අපි හෙන තඩි බලාපොරොත්තු ඇති කර ගන්න නිසා. උදාහරණයක් විදියට මට ආසයි පොත් කියවන්න. ඔන්න නිවාඩු දවසක් යන්තම් හොයාගෙන තඩි පොතක් අරන් හිතනවා අද නම් මේ පොත ඔක්කොම කියවල ඉවර කරනවා කියල. පොත ඔක්කොම කියවන්න පැය තුනක් යනවා කියමු. හැබැයි  ඇත්තටම වෙන්නේ මොකක්ද?

ඔෆිස් එකේ වැඩක් සෙට් වෙනවා,
ගෙදර වැඩක් සෙට් වෙනවා,
යාලුවෙක් කතා කරනවා,
බඩගිනි වෙනවා,
ටීවී බලන්න ඕන වෙනවා
මොකුත්ම නැත්නම් නින්ද යනවා,😅

මේ මට වෙන දේවල්,  වෙන අයට වෙන වෙන ඒවා ඇති. ඒ  වගේ බාධාවල් ඇවිල්ල මට පොත කියවන්න බැරි වෙනවා. ඕන නම් පිටු 20 ක් කියවයි. දැන් හෙන අවුල්.

මේ වගේ තව එකක් ගමු. මට කාමරේ අස් කරන්න ඕන. මම දන්නවා කාමරේ පිළිවෙලට තියන්න ඕන කියල ඒත් ඕක පටන් ගත්තොත් දුවිලි නාගෙන මකුළු දැල් නාගෙන මුළු දවසම යනවා වැඩේට ඊට වඩා හොදයිනේ ෆිල්ම් එකක් බලාගෙන ආතල් එකේ ඉන්නවා මේ හිටිය වගේ. ඒ වැඩේ කරන්න හිතෙන්නේ නෑ.

 අපිට වරදින්නේ ඔන්න ඔතන. අපි එක සැරේට ඔක්කොම ඉවර කරන්න ඕන කියල ලොකු බලාපොරොත්තු ඇති කරගන්නවා. එකෙන් වෙන්නේ කවද වත් ඉවර කර ගන්න වෙන්නේ නැති එක. ඒ වැඩෙත් අප්පිරිය වෙනවා.

මෙහෙම හිතලා බලන්න. ලොකු සීන් අමතක කරලා පොඩියට 
මම අද දවසට විනාඩියක් අරන්  පොතේ එක පිටුවයි කියවන්නේ කියල , 
අද දවසට විනාඩි පහක් අරන් මම මෙසේ ලාච්චුව විතරයි සුද්ද කරන්නේ. 

(කෙනෙක්ට දවසෙන් එක විනාඩියක් වෙන් කරගන්න වත් වෙලාවක් නැති තරමට බීසී නම් දැන්ම මේක කියවන එක නතර කරන්න. මොකද මේක කියවන වෙලාවේ ටොයිලට් එකට හරි යන්න පුළුවන්. ඒකටත් වෙලාව නැතිව ඇති. හැබැයි අපිට වෙලාව නෑ නෑ කියන අයට facebook, youtube  යන්න නම් වෙලාව තියෙනවා)

ආයිත් මාතෘකාවට එමුකො. මෙහෙම පුංචියට දවසට විනාඩියක් හරි දෙකක් හරි අරන් සතියක් විතර දිගටම කරත්දී අපිට ඔන්න යන ටයිම් එක පොඩ්ඩක් අපිට ඕන විදියට වැඩි කරන්න හිතෙන්න ගන්නවා. තව ටිකක් වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒක කරන්නේ අපේ හිතෙන්. එක සැරේට ඕක හිතෙන්නේ නෑ .

ඒ කියන්නේ  
බිම අතුගාල, මකුණු දැල් ටිකත් අද කඩන්න පුළුවන් 
තව පිටු 10 ක් විතර කියවන්න පුළුවන්
 
මෙහෙම දිගටම කරගෙන යද්දී සමහර විට සතියෙන් නැත්නම් දෙකකින් පොත කියවල ඉවර වෙලා තව පොතක් කියවන්න ගන්න පුළුවන්, කාමරේ ඔක්කොම සුද්ද වෙලා. ඇයි ? ලොකු බලාපොරොත්තු නැහැනේ අපි පොඩියට කරගෙන යද්දී අන්තිමේ වැඩේ ඉවර වෙනවා සහ පුරුද්දක් බවට පත් වෙනවා.

අනික මේක හරියටම මේ වෙලාවට කරන්න ඕන කියල එකක් නෑ. දවසේ ඕනා වෙලාවක කරන්න පුළුවන්. දවසෙන් විනාඩියක් විතරයි. දවසට විනාඩි තියෙනවා 1500 ක්.

මේ විදියට හිතන්න ඔයා අලුත් බාසාවක් ඉගෙන ගන්න පටන් ගත්තා කියල, එක සැරේට නෙවෙයි කාලයක් යද්දී ඔයා වතුර ලෙස බාසාව හසුරවනවා, ඒක පුරුද්දක් වෙලා. මේවට තමයි Mini  Habits  කියන්නේ. පොඩියට පටන් අරන් කාලයක් කරනකොට දන්නෙම නෑ බලනකොට හෙන වැඩ ගොඩක් කරලා.

බ්ලොග් එකක් ලියන එකත් ඒ වගේ මට පිටිපස්ස හැරිලා බැලුවම මම සැහෙන පොස්ට්  ලියල කියල පොඩි කික් එකක් එනවා. මුලදී මට පොස්ට් එකක් ලියන්න සැහෙන වෙලා ගියාට දැන් ටක් ගාල ලියන්න පුළුවන්. ( ඒකට විශේෂීකරණය වෙනවා කියල කියන්නේ. එකම වැඩක් දිගටම කරලා ලබාගන්න නිපුනතාවය) ඒකෙන් අපිව තව තව ධෛර්යමත් වෙනවා. 

මමත් මේක ඉගෙන ගත්තේ youtube  එකෙන්. පහලින් ලින්ක් එකක් දාන්නම් . මේ වගේ හොද පුරුදු ලිස්ට් එකක් හදාගෙන මම කරලා බැලුව. දන්නෙම නෑ සතියක් යද්දී මම මහා වැඩ ගොඩක් කරලා. අනික දැන් ඒවා නවත්තන්න හිතෙන්නෙත් නෑ අසාවෙන් කරනවා. තව තව කරන්න දේවල් ඔලුවට එනවා. දවස අන්තිමේ හෙන වැඩ ගොඩක් කළා කියල හෙන ගැම්මක් එනවා. ටික ටික අපේ වේගේත් වැඩි වෙනවා කරන වැඩේ. ඒ කියන්නේ විනාඩි පහකින් කරන දේ විනාඩි දෙකෙන් කරනවා වගේ දෙයක්. කාලය ඉතුරුයි නේ? 

මේකට මම ඇප් එකකුත් හොයා ගත්ත. ඒක ප්‍රස්ථාර ගහල එක එක විදියට අපේ සාර්ථකත්වය පෙන්නනනවා.කරපු වැඩේ මාර්ක් කරන්න විතරයි තියෙන්නේ.  ඒකෙත් ලින්ක් එක මෙන්න


Screenshot ImageScreenshot ImageScreenshot Image




 කැමති අය වීඩියෝ එකත් බලන්න. මට වඩා හොදට ඒකෙ පැහැදිලි කරනවා.




තව දෙයක් කියන්න ඕනා මේකෙන් හොද පුරුදු වගේම තමයි මේකේ අනිත් පැත්ත. නරක පුරුදු වලටත් ඇබ්බැහි වෙන්නේ මිනි හැබිට් වලින්. පොඩියට පටන් අරන් අන්තිමේ පට්ට නරක පුරුද්දක් වෙලා නවතින්නේ . අපි ඒවාට නම් නිකන්ම ඇදිල යනවා. හැබැයි හොද වැඩක් කරන්න තමයි වෙලාව නැත්තේ. 

මම තනියම බුදු වෙන්නේ නැතිව අනිත් අයටත් කියල දෙන්න ඕන නිසයි ලිව්වේ. හිතේ තියෙන දෙයක් කියල comment එකක් දාලා යන්න. බැන්නත් කමක් නෑ කොමෙන්ට් එකක්නේ.


පසුව ලියමි.

මිනි කියන එකේ සිංහල වචනේ හිත ගන්න සැහෙන වෙලා ගියා. small කියන්නෙත් පොඩි කියන එක මිනි කියන්නෙත් පොඩි කියන එක. ක්ෂුද්‍ර කියන්නත් බෑ  micro කියල එකක් තියෙනවා.  ගූගල් ශබ්දකෝෂයට අනුව mini සිංහලෙනුත්  මිනි ම තමයිලු . දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. 

Sunday, June 21, 2020

උබුන්ටු නම් එපා...

Bad Ubuntu, Bad | Differently Social


අනේ මන්ද මගේ පොස්ට් එන්න එන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව යයි කියලත් බය හිතෙනවා. මේ ටිකේම ලිව්වේ තාක්ෂණික දේවල්. ඊලග පොස්ට් එකේ වත් කාට හරි බනින්න ඕන.

කොහොම හරි කලින් පොස්ට් එකේ දැම්මේ උබුන්ටු ලිනක්ස් වලට සිංහල දා ගන්න විදිය. අද ලියන්නේ ඇයි මම උබුන්ටු පාවිච්චි නොකරන්නේ කියල. කලින් පොස්ට් එකේ කිව්වා වගේම මට තියෙන ලිනක්ස් අමාරුව නිසා දවස ගානේ මම os  මාරු කරනවා. දැන් ඒක අඩු වෙලා. එක එක ඒවා පාවිච්චි කරලා අන්තිමට උබුන්ටුම ආයිත් දාගෙන සතියක් ගියේ නෑ ගලවලා දාල  මින්ට් ලිනක්ස් දාගත්තා.

ඇයි එහෙම කලේ කියල කියනවා නම්, 

1. මට operating system  එකක ලස්සනත් ඕනා වැඩ කිඩත් ඕනා. වැඩ තියෙන ඒවයේ ලස්සන නෑ ලස්සන තියෙන ඒ්වයේ වැඩ නෑ. උබුන්ටු දා ගත්තේ ඒකේ පෙනුම ලස්සන සහ පහසු නිසා. දගලලා දඟලල සිංහල පේන විදියත් යන්තම් හදා ගත්තා. ඒත් ටික දවසක් යද්දී තේරුණා සිංහල විතරක් නෙවෙයි ඉංග්‍රීසිත් බලන්න අමාරුයි කියලා. ඇහැට හරි අමාරුයි. ඉංග්‍රීසි නේ වැඩියෙන් බලන්නේ. සිංහල පාවිච්චි වෙන්නේ බ්ලොග් එක ලියන්න විතරයි.

2. ටික දවසක් යද්දී මට තේරුණා පිරිසිදු ලිනක්ස් වල experience  එක උබුන්ටු වලින් එන්නේ නෑ කියල. 

3. අනවශ්‍ය වල් පල් services විශාල ගානක් නිකන් run  වෙනවා. ඒ නිසා  හෙන resources  ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නිකන් machine  එක රත් කරන්නේ මොකටද?

4. ලිනක්ස් වල පදනම open source උනාට උබුන්ටු යන පාර windows  යන පාරම තමයි කියල මට එකේ app store එක බැලුවම හිතෙන්න ගත්ත. මීට කලින් උබුන්ටුලා app  store  එකට amazon ඇඩ් දාන්න ගිහින් නා ගත්ත. දැන් snap store   කියල එකක් දාගෙන. ඒකේ තියෙන්නේ opan  source  ඒවාට වඩා proprietary ඒවා.   

5. අනිත් ඩිස්ට්‍රො වගේ නෙවෙයි customization කරන්න හරියට දඟලන්න ඕනා. අපි දෙන්නේ මෙච්චරයි, එක්කෝ ඉඳපන් නැත්නම් පල කියන්න වගේ තමයි ඒක හදලා තියෙන්නේ. හරියට අපල් වගේ.

මින්ට් ලිනක්ස් දාගත්තම මට ආයිත් හරි සැහැල්ලුවක් දැනුන. නිකන් කාලේකට පස්සේ ගමේ ගියාම එනවා වගේ. ඔක්කොම හුරු පුරුදු දේවල් හරිම ලේසියෙන් එහේ මෙහේ යන්න පුළුවන්. දන්න අඳුරන දේවල් තියෙන්නේ. ඒ සතුටට තමයි එකෙන්ම මේ පොස්ට් එක ලිව්වේ. මම හිතන්නේ මම ආයේ නම් උබුන්ටු දාන එකක් නෑ එච්චරට එපා උනා.
ඇත්තටම මින්ට් කියන්නෙත් උබුන්ටු එකේ කොපියක් තමයි. මම හිතන් ඉන්නේ ටික දවසක් ගිහින් තව මේක ඇගට අල්ලලා ගියාම arch linux  හරි debian  එකක් හරි දාගන්නවා කියලා. 

වෙන ලිනක්ස් පාවිච්චි කරලා උබුන්ටු වලට ආවම නිකන් සාංකාවක් වගේ එනවා. සිස්ටම් එක බරයි කියල තේරෙනවා.  ඒත් කැපුවත් උබුන්ටු කියන අය ඉන්නවා. die hard fans. ඒ වගේම සමාජ මාධ්‍ය වල (youtube) උබුන්ටු වලට පලු යන්න බනින අය ඉන්නවා. සමහරු කියන්නේ මේ විදියට මිනිස්සු දම්මල බනින්නේ උබුන්ටු හොද operating  සිස්ටම් එකක් විදියට ජනප්‍රිය වෙන එක නවත්වන්න ඇපල් සහ මයික්‍රොසොෆ්ට් සමාගම් වල යටි කූට්ටු වැඩ කියල. හැබැයි distrowach වලට අනුව නම් මේ ටිකේම උබුන්ටු ඉන්නේ පහලින්. 

කොහොමත් ලිනක්ස් ලෝකේ ඩිස්ට්‍රො පාවිච්චි කරන අය අතර එක මතයක් නෑ. ඒකට හේතුව එක එක ඩිස්ට්‍රො ඒවා එක එක අයගේ අවශ්‍යතාවයට හදලා තියෙන්නේ. ලිනක්ස් කියන්නේ වෙනම උප සංස්කෘතියක්. Open source, privacy , free software වගේ දේවල් උඩ මේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ. මොකද මේ linux කියන්නේ microsoft සහ apple වලටත් අභියෝග කරන සමාජය තුළින්ම හැදුන විප්ලවයක්. ඒකයි කිසිම වෛරස් එකකට මේකට attack කරන්න බැරි. නමුත් මේ සංස්කෘතිය තුළින්ම ඉපදිලා හැදිලා වැඩිලා ඒකට විරුද්ධව, එරෙහිව උබුන්ටු ගමනක් යනවා වගේ. තව දුරටත් එහෙම ගියොත් නම් මේකට වැඩි ආයුෂ නැති වෙයි. 







Thursday, June 18, 2020

උබුන්ටු වල සිංහල පේනවා අවුල්ද?




මට කොහොමත් linux අමාරුව තියෙනවා කියලා දන්නෝ දනිති. පහුගිය ටිකේම කලේ එක එක ජාතියේ linux distributions ඩවුන්ලෝඩ් කර කර බලන එක. මට ඕන උනේ සදහටම බාවිතා කරන්න හොදම එකක් තෝරා ගන්න. linux expert නොවුනට අන්තිමේ දී මට පරම සත්‍ය අවබෝධ උනා. ඒ කියන්නේ ඔක්කොම ජාති එකයි. 

Debian, Ubuntu , Lubuntu, Kubuntu, Mint, Zorin, Popos, Elementary os , Manjaro, Redhat,  Knopix, Puppy linux, Fedora.. 

එකී මෙකී නොකී ඔක්කොම මම අත්හදා බැලුවා. පාඩුවක් උනේ නෑ. කවුරු හරි මුලින් කිව්වා නම් මචන් ඔක්කොම linux os එකම තමයි කිව්වා නම් මම පිළිගන්නේ නෑ. ඒත් install කරලා කරලා වරු ගණන් චාටර් වෙලා අවුල් ගිහිල්ලා ගුග්ල කරලා උත්තර හොයලා ගත්ත අත්දැකීමෙන් අන්තිමේ මම ඒක තේරුම් ගත්තා. ගින්දරට අත පිච්චෙනකන් පොඩි එවුන්ට ගින්දර එහෙම අල්ලන්න එපා කිව්වට අහන්නේ නැහැනේ. අන්න ඒ වගේ.

වෙනස තියෙන්නේ බාවිතා කරන package සහ desktop  environment  එක වෙනස් වෙන එක විතරයි. ලිනක්ස් කර්නල් එක වෙනසක් නෑ. Windows වගේ නෙවෙයි ලිනක්ස් වලදී අපිට කැමති distribution එකක් අරන් අපිට ඕන විදියට අපේ os එකක් හදාගන්න පුළුවන්. නිදහස් මෘදුකාංගයක් නිසා මේක ඇතුලේ යකා නටන්න පුළුවන්. 

මේ කියන්න යන්නේ මගේ ගොන් කමක් තේරුම් ගන්න මට සෑහෙන කාලයක් ගිය විදිය ගැන සහ ඒ ගොන් කම තව කෙනෙක් කරන්න කලින් එකෙන් බේරාගෙන වේලාව ඉතුරු කරලා දෙන්න

මම මුලින් පාවිච්චි කාලේ උබුන්ටු. ආධුනික කෙනෙක් ගේ මුල්ම තේරීම උබුන්ටු හරි මින්ට් හරි තමයි. ටිකක් පරිණත වෙනකොට හිතෙන්න ගන්නවා නිදහස මදි කියලා. ඔන්න එතකොට අපිට ඕන වෙනවා දරුණු ගණයේ OS. අමු අමුවේ ගහන ඒව Arch ලිනක්ස් වගේ ඒව. 

කොහොම හරි Ubuntu දාපු ගමන් මම අයින් කළා. වෙන හේතුවක් නිසා නෙවෙයි ඒ දවස් වල මම දන්නේ නෑ සිංහල ෆොන්ට් පේන විදිය වෙනස් කරන්න පුළුවන් කියලා. උබුන්ටු වල සිංහල පේන්නේ වස කැත විදියට. ඇස් දෙකට හරි අමාරුයි. කියවන්න ආස හිතෙන්නේ නෑ.



දන්නේ නැති කමට මම වෙන වෙන ඒව install කර කර බැලුවා. අන්තිමේදී මට සෙට් උනා Manjaro linux එක. සිංහල නිකන් මුතු ඇට වගේ ලස්සනට පේනවා. පට්ට ලස්සනයි KDE කියන ඩෙස්ක්ටොප් එක නිසා. හැබයි ඒකෙත් කොස්සක් තියෙනවා. වැඩිය software නෑ. official ඒවා direct ගන්න නෑ. වෙන කෙනෙක් redistribute කරපු එකක් තමා ගන්න ඕන. නැත්නම් source code එකම ගන්න ඕන.මට ඕක වැඩිය ෂුවර් නෑ. ගූගල් ක්‍රෝම් උනත් support නෑ. (ලිනක්ස් දන්න එකෙක් මේක කියවලා කියයි ඇයි chromium තියෙන්නේ කියලා. නෑ.. බෑ.. මට ගූගල් ක්‍රෝම් ම තමයි ඕන. )  

අමාරුවෙන් වැඩ කරන්න ඕන නැහැනේ කියලා තව තව ඒව බැලුවා. ඔන්න යන්තම් කුබුන්ටු ඒ කියන්නේ උබුන්ටු එකේම වෙන flavour එකක් සෙට් උනා. 

Kubuntu තමයි වැඩිම කල් මම පාවිච්චි කරපු එක. ඔන්න ඔහොම ටික දවසක් යද්දි දැන් පොඩ්ඩ පොඩ්ඩ linux වල වැඩ දානකොට තමයි මට තේරුනේ මේ os වල එන built in font එකක් නිසා තමයි මේ සිංහල කැතට පේන්නේ කියලා. මේක ගැන හොයලා හොයලා හොයලා අන්තීමේ යන්තං විසදුමක් හොයා ගත්තා. 

එහෙනම් වැඩේට බහිමු.

1. මුලින් මේ සයිට් එකෙන් Noto sans sinhala  ෆොන්ට්ස් ඩවුන්ලෝඩ් කරගන්න. sinhala  කියල සර්ච් කරාම ඇති. 


zip ෆෝල්ඩර් එකක් විදියට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒක එහෙම තියන්න. 

2. දැන් Terminal එක Open කරලා, මේ Command එක ගහන්න

fc-list :lang=si

එතකොට මෙහෙම එකක් එයි

මේ කියන්නේ සිංහල ෆොන්ට්ස් දෙකක් තියෙනවා මගේ විදියට නම් ඔයාලට ඊට වඩා එන්න පුළුවන්.

3. ඒ එකින් එක අරගෙන delete  කරන්න. එහෙම නැත්නම් මගේ තියෙන විදියට නම් FreeSerif.ttf සහ lklug.ttf  කියන ෆොන්ට් අයින්  කරන්න ඕන  නම් 

sudo rm /usr/share/fonts/truetype/freefont/FreeSerif.ttf

sudo rm /usr/share/fonts/truetype/Sinhala/lklug.ttf

කියල ගැහුවම හරි. මෙහෙම ඔක්කොම තියෙන ෆොන්ට්ස් අයින් කරලා දාන්න. 
ඔක්කොම හරිද බලන්න ඕනා නම් 
fc-list :lang=si  
මේ කමාන්ඩ් එක ආයිත්  ගැහුවම මුකුත් එන්න බෑ

4. දැන් ගිහින් බලන්න font  manager  කියල ඇප්  එකක් තියෙනවද කියල.  තියෙනවා නම් ඕපන්  කර ගන්න නැත්නම් install  කරගන්න.

5. දැන් + එක ක්ලික් කරන්න 



6. යන්න අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆොන්ට් zip ෆයිල් දෙකට. දෙක වෙන වෙනම සිලෙක්ට් කරන්න.  දැන් මෙහෙම පෙන්න ඕන. 



7. දැන් ගිහින් වෙබ් බ්‍රව්සර් එක ඕපන් නම් ක්ලෝස් කරලා ආයිත් ඕපන් කරලා සිංහල සයිට් එකකට ගිහින් බලන්න.


මේ වගේ අකුරු රවුම් වෙලා ලස්සනට එයි. 


ඔන්න ඔහොම ඕනෑම linux  OS  එකකට ලස්සනට සිංහල පෙන්න හදා ගන්න පුළුවන්. මේක මමත් ඉගෙන ගත්තේ පහල තියෙන සයිට් වලින් .මේ බ්ලොග් දෙකම රසවත් විදියට පැහැදිලි කරනවා සිංහල ලස්සනට පෙන්නන විදිය.  මේ බ්ලොග් දෙකම දැන් පරණයි. ඒ නිසා කතාව මගේ අත්දැකීම් එක්ක අලුතින් ලියන්න ඕනා කියලා මම හිතුවා.