Saturday, May 9, 2020

සල්ලිකාර මෝඩයෝ - ( whats inside )


යු ටියුබ් එකේ මම බලන බොහොම සීමිත චැනල් වලින් එකක් තමයි wahts inside කියන්නේ. මේකේ කරන්නේ විකුනන්න තියෙන බඩු  කෑලි කෑලි වලට ගලවලා පෙන්නන එක. පොඩි කාලේ ඉඳන් මගේ තියෙන පිස්සුවත් ඕක තමයි. මොකක් හරි අමුතු ගැජට් එකක් හම්බුනොත් ඒක ගලවලා ඇතුලේ තියෙන විදිය සහ වැඩ කරන විදිය බලන්න මට පිස්සුවක් තියෙනවා.

කොහොම හරි මේ චැනල් එක කරන්නේ තාත්තෙක් සහ පුතෙක්. හැබැයි මුන්ට පට්ටෙට සල්ලි තියෙනවා. මේ ලඟදි ඉදන් මට තේරුණා මුන්ට මේ සල්ලි වියදම් කරන්න විදියක් නැති නිසා තමයි මේ වගේ කඩන්නේ බිදින්නේ කියල. ඊට කලින් මම හිතුවේ මේක මේ අනුග්‍රාහක දැන්වීම් වගේ සීන් එකක් කියල.

මුන්ගේම චැනල් එකක් තියෙනවා whats inside family කියල. එකේ ඉන්නේ පවුලේ ඔක්කොම. මේ මනුස්සයට භාර්යාවක්, පුතෙක්  සහ තව දුවල දෙන්නෙකුත් ඉන්නවා. ලඟකදී මුන් කොහෙන්දෝ දුරකින් ඉඩමක් අරන් ගෙයක් හැදුව. ඒ ගෙදර අතුල පෙන්නන එක තමයි දැන් එන වීඩියෝ ඒවායේ තියෙන්නේ. ඒකත් ගෙයක් නෙවෙයි මාලිගාවක්. අන්තිමට මෙයාලා දාපු වීඩියෝ එක දැක්කම මට පට්ට දුකක් සහ තරහක් ආවා මේ සල්ලි නාස්ති කිරීම ගැන.

මොකද කියනවා නම්. මේ මනුස්සය ගෙදර ඔක්කොම ස්මාර්ට් කරලා තියෙන්නේ.  ඒ කියන්නේ වතුර බොන පයිප්පෙ ඉදන් ටොයිලට් එකට වෙනකන් ඔක්කොම ඉලෙක්ට්‍රොනික්  විදියට තමයි තියෙන්නේ.  පොයින්ට් ෆෝම් එකෙන් කියන්නම් ඒවායින් ටිකක්.

  1. alexa ට කියල තමයි වතුර පුරවන්නේ කෝප්පෙට. alexa කියන්නේ කවුද කියල දන්නේ නැත්නම් දැනගන්න . alexa  කියන්නේ amazon කොම්පැණියෙන් හදපු කෘතීම බුද්දියක්. කඩේ ගන්න තියෙනවා. දැන් අහන්න එපා මොකක්ද amazon කියන්නේ කියල. මේ වගේ එකක් google  එකෙත් තියෙනවා google assistant කියල. කොහොම හරි වතුර පුරවන්න ඕන උනාම alexa  ට කියන්න ඕන alexa වතුර ටිකක් පුරවන්න කියල (ඉංග්‍රීසියෙන් )
  2. මුළු ගෙදරටම හයි කරපු සවුන්ඩ් සිස්ටම් එක. කොච්චර ස්පිකර් තියෙනවද කියල මුන් දන්නෙත් නෑ. 180 - 200 ත් අතර ගානක් කියලා කියන්නේ. හැම කාමරෙකම සහ නිදන කාමර වල ඇඳ පිටිපස්සේ බිත්තියේ බෆල් දෙක ගානේ තියෙනවා. කොටින්ම කිව්වොත් බාත් රූම් එකේ ෂවර් එකටත් සබ් වුෆර් එකක් හයි කරලා තියෙන්නේ.
  3. එක සැරේට තුන් දෙනෙක්ට නාන්න හදපු බාත් රූම් එක. මට හිතා ගන්න බෑ තුනක් ඇයි කියල. දෙන්නෙක් නම් ඔන්න සාධාරණ හේතුවක් මවා ගන්න පුළුවන්.
  4. රත් වෙන කොමෝඩ් එක. ඒ කියන්නේ වාඩි උනාම පස්සට රස්නේ දැනෙනවා. ඒ විතරක් නෙවෙයි ඔක්කොම වැඩ ටික කර ගන්නේ පොඩි display  එකක් අතට අරන්.
  5. ඕනා ඕනා වෙලාවට පාට සහ ආලෝක ප්‍රමාණය වෙනස් වෙන ලයිට් සිස්ටම් එක.
    ඒවත් ඔක්කොම බිත්තියේ හයි කරලා තියෙන ටැබ් වලින් තමයි කන්ට්‍රෝල් වෙන්නේ.
  6. යතුරක් නැති දොරවල්. ඔක්කොම වැඩ කරන්නේ passward  වලින්.
  7. හැම තැනම හයි කරපු කැමරා සිස්ටම් එක. පුද්ගලිකත්වයක් ඇත්තෙම නෑ.
  8. වෙනම tv රූම් එකක් තියෙනවා එකේ තියෙන බෆල් එකක් මනුස්සයෙක්ට උස්සන්න බැරි තරම් බරයි.
ජනෙල් තිර ඔක්කොම ස්වයංක්‍රියයි.


මේ කිව්වේ බොහොම ටිකයි.  ඕන අයට බලන්න මම වීඩියෝ ඒවා දාන්නම්.






ඉතින් දැන් මේ ඔක්කොම වැඩ කරන්නේ වෙනම තඩි රූම් එකක තියෙන computer නැත්නම් servers වලින්. පට්ටම කරන්ට් එකක් යනවා.

මූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මොලේ නැති බුරුවෙක්. ඒ මොකද මම එහෙම කියන්නේ ? ඉරිසියාව හින්දා ද ?

  1. හදන්න ගිය වියදම පැත්තක තියමු. මේවා ඔක්කොම කරන්ට් එකෙන් වැඩ කරන්නේ. ලෝකේ තියෙන හැම බලාගාරයක්ම වැඩ කරන්නේ පරිසරයට හානි කර විදියට. ඉතින් මූ විතරක් පාවිච්චි කරන විදුලියෙන් කොච්චර පරිසර දුෂණයක් වෙනවද කියල තමයි මට මුලින්ම ඔලුවට ආවේ.
  2. මේ වියදම් කරපු සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට ගෙවල් කොච්චර හදන්න තිබුනද
  3. තාක්ෂනය කියන්නේ අද තියෙන එක නෙවෙයි හෙට. ටක් ගාලා වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් තියෙන ඕනෑම විදුලි උපකරණයක් ඉක්මනට කැඩෙනවා. ෆෝන් එකක් උනත් අවුරුදු දෙකයි.  කාලයක් ගියාම බිත්තියේ හයි කරලා තියෙන ටැබ් ඒවා කැඩුනම ආයිත් replace  කරන්න බැරි වෙනවා. එහෙම කරන්න නම් බිත්තිය කඩන්න ඕන. ඒ විතරක් නෙවෙයි  අලුතෙන් එන උපකරණ වලට මේක compatible නොවෙන්න ඉඩ ඉතාම වැඩි.
  4. නාන්න රස්නේ වතුර ටිකක් ආවම මදිද? සින්දු ඇහෙන්නත් ඕනද? තව දෙන්නෙක් එක්ක නාන්නත් ඕනද?
  5. දොරවල් අතින් කරකවල වහන්න බැරි තරම් මනුස්සයෙක්ට කම්මැලිද ? හදිසියේ මොනවා හරි දෙයක් වෙලා දවස් දෙක තුනක් power cut උනොත් යන්නත් බෑ එන්නත් බෑ. ලොකු රටවලට ඒවා වෙන්නේ නෑ හැබැයි වෙන්න පුළුවන්. කවුද හිතුවේ කොරෝනා පොඩි රටවල් බේරලා ඇමරිකාවට වැඩේ දෙයි කියල?
  6. වතුර පුරවන්න කරාමේ කරකවන්නත් කටින් කියන්න ඕනද? මහා රෑට තිබහක් අවොත් හයියෙන් කෑ ගහන්න ඕනා alexa වතුර පුරවන්න කියලා. ඊට වඩා හොදයිනේ කරාමේ ඇරලා පුරවා ගත්ත නම්. 

ජිවිතේ සරල වෙන්න සරල වෙන්න ප්‍රශ්න අඩු වෙනවා කියන එක මේ ගොනාට තේරෙන්නේ නෑ කියන එක මට අදාළ නෑ. මට තියෙන අවුල මුගේ මේ ගොන් වැඩේ මු විතරක් නෙවෙයි  තව එවුනුත් කරනවා ඇති. ඒ  නිසා පරිසරයට සිද්ද වෙන හානිය ගැනයි මට දුක. 

තව දෙයක් කියන්න ඕන. පරිසර දුෂණය අවම කරන්න කියලා ඉලෙක්ට්‍රික් වාහන ගන්න මොඩයන්ට තේරෙන්නේ නෑ ඒවා චාර්ජ් කරන්න විදුලිය නිපදවන්නේ ගල් අගුරු හරි  , න්‍යෂ්ටික බලය හරි ඩීසල් හරි කියල. වෙළඳ සමාගම් වල ගැටයකට අහු වෙලා ආතල් එකේ ඉන්නවා. 

සල්ලිකාර මෝඩයෝ!!!





Sunday, April 5, 2020

කොරෝනා අස්සේ ටෙක් කතා ඇවිල්ලා




වර්ක් ෆ්‍රොම් හෝම් කරුමෙන් යන්තං ගැලවුණා දවස් දෙකකට. ආයිත් සඳුදා ඉඳන් වැඩ. ඒකෙනුත් සෙනසුරාදා උදේ වරුවම ගියා ඔන්ලයින් බඩු ගෙන්නන්න ට්‍රයි කරපු ඒක. ඒක හරි ගියේ නෑ. කීල්ස් ,කාගිල්ස්, ආර්පිකෝ , ලාර්ෆ්, පික් මී, උබර් ඔක්කොම ට්‍රයි කළා.
කෝල් ලයින් ඔක්කොම බිසී. 

ලංකාවේ තාක්ෂනේ කොච්චර දියුණු උනත් වැඩක් නෑ එකෙන් කාර්යක්ෂම වැඩක් ගන්න බැරි නම්. පුදුම කලකිරීමක් මට ආවේ. ඒ අස්සේ එක එකා පෝස්ට් දානවා කෑම හිඟ වෙනවා කියලා. අවිශ්වාස කරන්නත් බෑ විශ්වාස කරන්නත් බෑ. මම ඉන්න හරියේ බඩු වලට ඉල්ලුම වැඩියි. ඒ නිසා තියෙන සුපර්මාර්ක්ට අල්ලන්න හරිම අමාරුයි. අනික මම ඉන්නේ ගොඩක් ඇතුලට වෙන්න නිසා බඩු ලොරි එන්නේ නෑ. 

ගෙදර ඉන්නවා කියලා මට කම්මැලි නම් දැනෙන්නේ නෑ මොකද ඔෆිස් එකේ වැඩ නිසා. හැබැයි ඉතින් පොඩ්ඩක් එළියට වෙලා හවසට එහෙට මෙහෙට ඇවිදිනවා ව්‍යායාමයක් නැති නිසා. ඒ ගමන් තියෙන පොඩ් කාස්ට් ඔක්කොම අහනවා. 

කාලේකට පස්සේ ටෙක් කතා පොඩ්කාස්ට් එකක් රිලීස් වෙලා. පුදුම සතුටක් තියෙන්නේ. ටෙක් කතා කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ ජිවිතේ වෙනස් කරපු පොඩ්කාස්ට් එකක්. මගෙත් එහෙමයි. කවදාවත් software ෆීල්ඩ් එකට එන්න හිතුවේ නැති මම එහෙම ඇවිල්ලා හොඳ තැනක ඉන්නේ ටෙක් කතා වලට පින් සිද්ද වෙන්න. කාලිංග අයියා, (හැමෝම කතා කරන්නේ එහෙමයි. ) කියන්නේ එක කාලෙක legend එකක්.  ඒ කියන්නේ අපි පොඩි කාලේ එයා අපේ වීරයා.
තාමත් අපිට එයාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. දැන් පොඩ්කාස්ට් කරන ගොඩක් අයට පදනම වැටුණේ මේ techkatha පොඩ්කාස්ට් එක නිසා.

දැන් ගොඩක් හොඳ පොඩ්කාස්ට් තියෙනවා illumination, topic එක තමයි මගේ ලීස්ට් එකේ දෙවැනි සහ තුන වෙන්නේ.  ඔක්කොම හොදයි. අපිට ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද කියනවා නම් මේවා ඇතුලේ කතා වෙන්නේ මිනිස්සුන්ගේ අත්දැකීම් නිසා අපිට ඒ ඒ අවස්ථාවලදී අනිත් අය ගන්න තීරණ වලින් හොඳම එක අපිට යොදාගන්න පුළුවන්.

Illumination ගැන ඉතින් ආයිත් කියන්න දෙයක් නෑ සුපිරි. Topic එක අහං ඉන්න ආශා හිතෙන එකක්.

පොඩ්කාස්ට් කියන්නේ මොනවද කියලා වත් දන්නේ නැති අය ඉන්නවා. ඒ අයටත් එක්ක මම ලංකාවේ හොදම පොඩ්කාස්ට් ටික අහන්න පුළුවන් සයිට් එකේ ලින්ක් එක දෙන්නම්. තෝරලා බේරලා හොඳ ඒව විතරක් අහන්න. නැත්නම් වැඩකට නැති ඒවත් තියෙනවා. ඒව අහන එක අපේ කාලේ නාස්ති කිරීමක්. 

මෙන්න ලින්ක් එක

https://podcasts.lk/
 මේ සයිට් එක හදපු කෙනාගේ නම දන්නේ නැති උනත් මල් තියලා වදින්න ඕන. එච්චර ලස්සනයි නියමයි.

පොඩ්කාස්ට් පිස්සෙක් වගේ අහනවා නම් මම රෙකමන්ඩ් කරන්නේ google podcast ඇප් එක. ඒක සරලයි ලේසි.

Tuesday, March 31, 2020

වර්ක් ෆ්‍රොම් හෝම් කරුමේ


සොෆ්ට්වෙයාර් ක්ෂේත්‍රයේ වැඩ කරන අයට නම් වර්ක් ෆ්‍රොම් හෝම් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. උප්පත්තියෙන්ම ඒක ඔෆිස් එකෙන් දෙන්නේ තියෙන ප්‍රෙෂර් එක අඩු කරන්න සතියට දවසක් දෙකක් හරි ගෙදර ඉදන් වැඩ කරලා ඔෆිස් වරෙන් කියල. ඒ උනාට වෙන්නේ එකේ අනිත් පැත්ත. වර්ක් ෆ්‍රොම් හෝම් දාපු දවසට කන්න බොන්න වත් වෙලාවක් එන්නේ නෑ. කෝල්ස් විනාඩියෙන් විනාඩිය  එනවා. ඔක්කොම සිස්ටම් කැඩෙන්නේ ඉඳලා හිටලා වර්ක් ෆ්‍රොම් හෝම් දාපු දවසට තමයි. ඒ වෙලාවට තමයි මීට වඩා හොදයි ඔෆිස් ගියා නම් කියල හිතෙන්නේ.

හැබැයි මේකේ වාසි තියෙන්නේ නිවාඩු ඉතිරි කරගන්න පුළුවන් වෙන එක.  ලෙඩක් හැදුනත් වර්ක් ෆ්‍රොම් හෝම් කියල ඉන්න පුළුවන්. හැබැයි ඉතින් එදා තියෙන වැඩේ කරන්න ඕන. ප්‍රතිපත්තියක් විදියට මට අමාරුම වෙලාවක ඇරුනම මම වර්ක් ෆ්‍රොම් හෝම් දාන්නේ නෑ. අනිත් උන් මට බනිනවා උනත් මම නිවාඩු දානවා එතකොට ඔලුවට බරක් නෑ. එහෙම කියල සිස්ටම් ඉෂුස් බලන්නේ නැතිව ඉන්න බෑ. ඒකට ඉතින් නීතියෙන් බැඳිලා ඉන්නවා. ට්‍රිප් එකක් ගියත් ලැප් එක වෙනම අරන් යන එක දැන් පුරුද්දට ගිහිල්ල.

කොහොම හරි මේ ආණ්ඩුවෙන් දාපු බඩවැල වගේ වර්ක් ෆ්‍රොම් හෝම් එක නිසා දැන් ජිවිතේ එපා වේගෙන යනවා. ඔෆිස් එකට වඩා ප්‍රෙෂර් එක දැන් එනවා. හැමදාම උදේ පාන්දර මීටින් වලට කියල කෝල් කොන්ෆරන්ස් දානවා. ඊයේ උදේට කන්නත් නෑ. උදේට කෑවේ. 1 ට විතර. ඒ අස්සේ කෝල් එකෙන් අනිත් අයගේ ගෙවල් වල තියෙන ඔක්කොම සද්ද අහන් ඉන්න ඕනා. හිටපු ගමන් පොඩි උන් විලාප තියන සද්ද, දොරවල් වාහන සද්ද, චූන් පාන් යන සද්ද, කොහා අඩන සද්දේ , ගේ ඇතුලේ වලි යන සද්දේ වගේ දේවල් අහන් ඉන්න වෙනවා. සමහර වෙලාවට ෆෝන් එක කනේ තියන් නින්දත් යනවා දේශනා අහලා.



ඒ විතරක් නෙවෙයි ඔෆිස් එකේ උන් අවදි වෙන්නේ එක එක වෙලාවට. දවල් නිදාගෙන හවස හයට නැගිටින එකාගේ ප්‍රශ්න වලට උදේ 6 ට නැගිටින උන් ලැප් එක අරගෙන උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. ඉස්සර පැය 9 ක් වැඩ කලා දැන් ඒක පැය 24 ම වෙලා.

වර්ක් ෆ්‍රොම් හෝම් කියන එක ගෙදර ඉන්න අනිත් අයට සෙට් වෙන්නේ නැති එකකුත් තියෙනවා. එයාලට පෙන්නේ මම ගෙදර නම් නිවාඩු තමයි කියල.

ඔක්කොම විද දරාගෙන හිටියත් අමාරුම වැඩේ රස්නේ ඉවසන් ඉන්න එක. දාඩිය බේරගෙන වැඩ කරනවා කියන්නේ කරුමයක්. පොඩ්ඩක් නාල එන්න ගියත් නිවී සැනසිල්ලේ ඒක කරන්නත් නෑ කෝල් එනව. ඉතින් බාගෙට පිහිද පිහිද එන්න ඕන දුවගෙන.

මේ දුකෙන් අත්මිදෙන්න,  ඉක්මනට කොරෝනා ඉවර වෙලා ඇඳිරි නිතිය අයින් කරලා අපිට ඔෆිස් යන්න ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා 

Thursday, March 26, 2020

කොරෝනා ඇඳිරි නීතිය නිසා සිදුවන වාසි ද ඇත


ඇඳිරි නීතිය හරි ලොක් ඩවුන් හරි මොනවා හරි කරලා මේ සමාජ දුරස් භාවය ඇති කරපු නිසා කොරෝනා බෝ වීම විතරක් නෙවෙයි මම නම් වෙනත් වසිත් දකිනවා.

1. කොරෝනා විතරක් නෙවෙයි රටේ බෝ වෙන අනිත් පොඩි පොඩි රෝග වර්ගත් මේ නිසා පැතිරීමත් නැවතිලා යනවා. විශාල වශයෙන් නැති උනත් සැලකිය යුතු ගානකින් බෝවන රෝග අඩු වෙලා යන්න ඕනා මේ නිසා. හොදම උදාහරනය අපේ ඔෆිස් එක. කවදා වත් හෙම්බිරිස්සාව නැති මනුස්සයෙක් නැති දවසක් හොයා ගන්න බෑ. හැමදාම මොකෙක් හරි හෙම්බිරිස්සාව හදාගෙන ඇවිත් ළඟ ඉන්න එකාට බෝ කරනවා. පහු වෙනිදා ළඟ ඉන්න එකා ලෙඩ වෙලා ඇවිත් ඊට එහා පැත්තේ එකාට බෝ කරනවා. කොපර  කොපර පිපිඤ්ඤා වගේ රවුමට බෝ කර කර ඉන්නවා.
කොරෝනා නිසා හැමෝම ආරක්ෂා වෙන්න ගත්තාම මම දැක්කා මට උනත් හෙම්බිරිස්සාව හැදෙන එක නැවතිලා ගියා.

2. ගොඩක් අයට work from home ලැබුණා. උදේ ඉඳන් බස් එකේ යන්න පැය 2 යි එන්න පැය 2 යි ගිහිපු වෙලාව ඉතුරු උනා. බස් ගාස්තු වත් ඉතුරු උනා. කඩෙන් කනවා නම් ඒකත් ඉතුරු උනා. මම හිතන්නේ මම නම් ඔෆිස් එකේ කරනවාට වඩා වැඩි වැඩ කොටසක් කළා ගෙදර වැඩ කටයුතුත් කරන ගමන්.

3 කඩවල් වල ජරාව කනවට වඩා ගෙදර පිරිසුදුවට එළවළු එකක් හරි එක්ක බත් කන එක ඇඟටත් හොදයි පර්ස් එකටත් ගුණයි.

4. ගෙදර මිනිස්සු හොදට අදුර ගන්න පුළුවන් උනා.  වෙනදාට දකින්නෙත් අඩු ගෙදර අය එක්ක කතා බහ කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ ගොල්ලෝ හරි හොඳ මිනිස්සු කියලා තේරුණා කතා බහ කරත්දී.. 😀

5. දවල් වෙනකං හොදට නිදාගන්න ලැබුණා. උදේ 4 ට 5 ට නැගිටිනවා කියන්නේ මරනවා වගේ අයට හොදට දවල් වෙනකං නිදාගන්න චාංස් එකක් ලැබුණා. හොදට නිදා ගන්න එක ශරීර සෞඛ්‍යට ත් හොදයි.

6. ලෝකයක් රටක් අතින් ගත්තාම වාහන දුවන එක අඩු උනා. කර්මාන්ත ශාලා වැහිලා. ඒ නිසා පරිසර දූෂණය සෑහෙන්න අඩු වෙලා ගියා. චීනෙ ලොක් ඩවුන් වෙලා තිබුණ කාලෙදි air polution එක සෑහෙන අඩු උනා. මේ දවස් වල යුරෝපයේ ත් එහෙම වෙලා. ලංකාවෙත් අනිවා එහෙම ඇති. කොච්චර නම් දවසකට කාබන් ඩයක්සයිඩ් සහ අනික් වායු නිදහස් වෙනවද.

7. මිනිස්සු අාගම දහමට සෑහෙන නැඹුරු උනා මේ ටිකේ. මම එහෙම කියන්නේ මම හදපු පිරිත් කියන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ live user කවුන්ට් එක සෑහෙන වැඩි උනා. දවසකට  එන user කවුන්ට් එක නිසා සර්වර් එකට දරා ගන්න බැරි වෙයි කියලා මම බයේ හිටියේ.
පේනවා නේද පෙබරවාරි මාසේ ඉඳලා එක සැරේ install count එක උඩ ගිය විදිය.
එතකොට පහල මේ තියෙන්නේ පහුගිය දවස් වල පිරිත් අහන අය ගැන විනාඩි 30 ක් මැප් කරලා ගත්ත location map එකක්.



පේනවා නේද නිකන් කොරෝනා ව්‍යාප්තිය වගේ. මේ ඔක්කොම ලෝකේ රටවල් වලින් මම හදපු ඇප් එකකින් පිරිත් අහනවා කියලා පේනකොට මට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඇප් එක ගැන වෙනම දවසක කියන්නම්.

(ඔන්න දැන් කට්ටිය දැනගත්ත මම software පැත්තෙන් මොකෙක් හරි එකෙක් කියලා. මම senior software engineer කෙනෙක්)


මේ මම අත් දැකපු වාසි. මට අමතක වෙච්ච දේවල් සහ මම නොදන්න වාසි තියෙනවා නම් කොමෙන්ට් එකකින් දාන්න.

කොහොමත් මට හිතෙන්නේ අවුරුද්දකට සැරයක් හරි ලෝකෙම ලොක් ඩවුන් කරන එක මිනිස්සුන්ට වගේම පරිසරෙටත් හොදයි. හැබැයි ප්‍රැක්ටිකල් නෑ. හිනා වෙන්න කියන්න හොදයි.