Tuesday, March 31, 2020

වර්ක් ෆ්‍රොම් හෝම් කරුමේ


සොෆ්ට්වෙයාර් ක්ෂේත්‍රයේ වැඩ කරන අයට නම් වර්ක් ෆ්‍රොම් හෝම් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. උප්පත්තියෙන්ම ඒක ඔෆිස් එකෙන් දෙන්නේ තියෙන ප්‍රෙෂර් එක අඩු කරන්න සතියට දවසක් දෙකක් හරි ගෙදර ඉදන් වැඩ කරලා ඔෆිස් වරෙන් කියල. ඒ උනාට වෙන්නේ එකේ අනිත් පැත්ත. වර්ක් ෆ්‍රොම් හෝම් දාපු දවසට කන්න බොන්න වත් වෙලාවක් එන්නේ නෑ. කෝල්ස් විනාඩියෙන් විනාඩිය  එනවා. ඔක්කොම සිස්ටම් කැඩෙන්නේ ඉඳලා හිටලා වර්ක් ෆ්‍රොම් හෝම් දාපු දවසට තමයි. ඒ වෙලාවට තමයි මීට වඩා හොදයි ඔෆිස් ගියා නම් කියල හිතෙන්නේ.

හැබැයි මේකේ වාසි තියෙන්නේ නිවාඩු ඉතිරි කරගන්න පුළුවන් වෙන එක.  ලෙඩක් හැදුනත් වර්ක් ෆ්‍රොම් හෝම් කියල ඉන්න පුළුවන්. හැබැයි ඉතින් එදා තියෙන වැඩේ කරන්න ඕන. ප්‍රතිපත්තියක් විදියට මට අමාරුම වෙලාවක ඇරුනම මම වර්ක් ෆ්‍රොම් හෝම් දාන්නේ නෑ. අනිත් උන් මට බනිනවා උනත් මම නිවාඩු දානවා එතකොට ඔලුවට බරක් නෑ. එහෙම කියල සිස්ටම් ඉෂුස් බලන්නේ නැතිව ඉන්න බෑ. ඒකට ඉතින් නීතියෙන් බැඳිලා ඉන්නවා. ට්‍රිප් එකක් ගියත් ලැප් එක වෙනම අරන් යන එක දැන් පුරුද්දට ගිහිල්ල.

කොහොම හරි මේ ආණ්ඩුවෙන් දාපු බඩවැල වගේ වර්ක් ෆ්‍රොම් හෝම් එක නිසා දැන් ජිවිතේ එපා වේගෙන යනවා. ඔෆිස් එකට වඩා ප්‍රෙෂර් එක දැන් එනවා. හැමදාම උදේ පාන්දර මීටින් වලට කියල කෝල් කොන්ෆරන්ස් දානවා. ඊයේ උදේට කන්නත් නෑ. උදේට කෑවේ. 1 ට විතර. ඒ අස්සේ කෝල් එකෙන් අනිත් අයගේ ගෙවල් වල තියෙන ඔක්කොම සද්ද අහන් ඉන්න ඕනා. හිටපු ගමන් පොඩි උන් විලාප තියන සද්ද, දොරවල් වාහන සද්ද, චූන් පාන් යන සද්ද, කොහා අඩන සද්දේ , ගේ ඇතුලේ වලි යන සද්දේ වගේ දේවල් අහන් ඉන්න වෙනවා. සමහර වෙලාවට ෆෝන් එක කනේ තියන් නින්දත් යනවා දේශනා අහලා.



ඒ විතරක් නෙවෙයි ඔෆිස් එකේ උන් අවදි වෙන්නේ එක එක වෙලාවට. දවල් නිදාගෙන හවස හයට නැගිටින එකාගේ ප්‍රශ්න වලට උදේ 6 ට නැගිටින උන් ලැප් එක අරගෙන උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. ඉස්සර පැය 9 ක් වැඩ කලා දැන් ඒක පැය 24 ම වෙලා.

වර්ක් ෆ්‍රොම් හෝම් කියන එක ගෙදර ඉන්න අනිත් අයට සෙට් වෙන්නේ නැති එකකුත් තියෙනවා. එයාලට පෙන්නේ මම ගෙදර නම් නිවාඩු තමයි කියල.

ඔක්කොම විද දරාගෙන හිටියත් අමාරුම වැඩේ රස්නේ ඉවසන් ඉන්න එක. දාඩිය බේරගෙන වැඩ කරනවා කියන්නේ කරුමයක්. පොඩ්ඩක් නාල එන්න ගියත් නිවී සැනසිල්ලේ ඒක කරන්නත් නෑ කෝල් එනව. ඉතින් බාගෙට පිහිද පිහිද එන්න ඕන දුවගෙන.

මේ දුකෙන් අත්මිදෙන්න,  ඉක්මනට කොරෝනා ඉවර වෙලා ඇඳිරි නිතිය අයින් කරලා අපිට ඔෆිස් යන්න ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා 

Thursday, March 26, 2020

කොරෝනා ඇඳිරි නීතිය නිසා සිදුවන වාසි ද ඇත


ඇඳිරි නීතිය හරි ලොක් ඩවුන් හරි මොනවා හරි කරලා මේ සමාජ දුරස් භාවය ඇති කරපු නිසා කොරෝනා බෝ වීම විතරක් නෙවෙයි මම නම් වෙනත් වසිත් දකිනවා.

1. කොරෝනා විතරක් නෙවෙයි රටේ බෝ වෙන අනිත් පොඩි පොඩි රෝග වර්ගත් මේ නිසා පැතිරීමත් නැවතිලා යනවා. විශාල වශයෙන් නැති උනත් සැලකිය යුතු ගානකින් බෝවන රෝග අඩු වෙලා යන්න ඕනා මේ නිසා. හොදම උදාහරනය අපේ ඔෆිස් එක. කවදා වත් හෙම්බිරිස්සාව නැති මනුස්සයෙක් නැති දවසක් හොයා ගන්න බෑ. හැමදාම මොකෙක් හරි හෙම්බිරිස්සාව හදාගෙන ඇවිත් ළඟ ඉන්න එකාට බෝ කරනවා. පහු වෙනිදා ළඟ ඉන්න එකා ලෙඩ වෙලා ඇවිත් ඊට එහා පැත්තේ එකාට බෝ කරනවා. කොපර  කොපර පිපිඤ්ඤා වගේ රවුමට බෝ කර කර ඉන්නවා.
කොරෝනා නිසා හැමෝම ආරක්ෂා වෙන්න ගත්තාම මම දැක්කා මට උනත් හෙම්බිරිස්සාව හැදෙන එක නැවතිලා ගියා.

2. ගොඩක් අයට work from home ලැබුණා. උදේ ඉඳන් බස් එකේ යන්න පැය 2 යි එන්න පැය 2 යි ගිහිපු වෙලාව ඉතුරු උනා. බස් ගාස්තු වත් ඉතුරු උනා. කඩෙන් කනවා නම් ඒකත් ඉතුරු උනා. මම හිතන්නේ මම නම් ඔෆිස් එකේ කරනවාට වඩා වැඩි වැඩ කොටසක් කළා ගෙදර වැඩ කටයුතුත් කරන ගමන්.

3 කඩවල් වල ජරාව කනවට වඩා ගෙදර පිරිසුදුවට එළවළු එකක් හරි එක්ක බත් කන එක ඇඟටත් හොදයි පර්ස් එකටත් ගුණයි.

4. ගෙදර මිනිස්සු හොදට අදුර ගන්න පුළුවන් උනා.  වෙනදාට දකින්නෙත් අඩු ගෙදර අය එක්ක කතා බහ කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ ගොල්ලෝ හරි හොඳ මිනිස්සු කියලා තේරුණා කතා බහ කරත්දී.. 😀

5. දවල් වෙනකං හොදට නිදාගන්න ලැබුණා. උදේ 4 ට 5 ට නැගිටිනවා කියන්නේ මරනවා වගේ අයට හොදට දවල් වෙනකං නිදාගන්න චාංස් එකක් ලැබුණා. හොදට නිදා ගන්න එක ශරීර සෞඛ්‍යට ත් හොදයි.

6. ලෝකයක් රටක් අතින් ගත්තාම වාහන දුවන එක අඩු උනා. කර්මාන්ත ශාලා වැහිලා. ඒ නිසා පරිසර දූෂණය සෑහෙන්න අඩු වෙලා ගියා. චීනෙ ලොක් ඩවුන් වෙලා තිබුණ කාලෙදි air polution එක සෑහෙන අඩු උනා. මේ දවස් වල යුරෝපයේ ත් එහෙම වෙලා. ලංකාවෙත් අනිවා එහෙම ඇති. කොච්චර නම් දවසකට කාබන් ඩයක්සයිඩ් සහ අනික් වායු නිදහස් වෙනවද.

7. මිනිස්සු අාගම දහමට සෑහෙන නැඹුරු උනා මේ ටිකේ. මම එහෙම කියන්නේ මම හදපු පිරිත් කියන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ live user කවුන්ට් එක සෑහෙන වැඩි උනා. දවසකට  එන user කවුන්ට් එක නිසා සර්වර් එකට දරා ගන්න බැරි වෙයි කියලා මම බයේ හිටියේ.
පේනවා නේද පෙබරවාරි මාසේ ඉඳලා එක සැරේ install count එක උඩ ගිය විදිය.
එතකොට පහල මේ තියෙන්නේ පහුගිය දවස් වල පිරිත් අහන අය ගැන විනාඩි 30 ක් මැප් කරලා ගත්ත location map එකක්.



පේනවා නේද නිකන් කොරෝනා ව්‍යාප්තිය වගේ. මේ ඔක්කොම ලෝකේ රටවල් වලින් මම හදපු ඇප් එකකින් පිරිත් අහනවා කියලා පේනකොට මට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඇප් එක ගැන වෙනම දවසක කියන්නම්.

(ඔන්න දැන් කට්ටිය දැනගත්ත මම software පැත්තෙන් මොකෙක් හරි එකෙක් කියලා. මම senior software engineer කෙනෙක්)


මේ මම අත් දැකපු වාසි. මට අමතක වෙච්ච දේවල් සහ මම නොදන්න වාසි තියෙනවා නම් කොමෙන්ට් එකකින් දාන්න.

කොහොමත් මට හිතෙන්නේ අවුරුද්දකට සැරයක් හරි ලෝකෙම ලොක් ඩවුන් කරන එක මිනිස්සුන්ට වගේම පරිසරෙටත් හොදයි. හැබැයි ප්‍රැක්ටිකල් නෑ. හිනා වෙන්න කියන්න හොදයි.

Tuesday, March 24, 2020

කොරෝනා ෂොපින් පෝලිමේ සිට ලියමි

උදේ 6 ට අඳිරි නීතිය අයින් කරන නිසා හරියටම හයට පාරට ආවා බඩු ගන්න සුපර් මාකට් එකට. එතකොට ත් මිනිස්සු පෝලිමේ කිලෝමීටර බාගයක් විතර. හිටගෙන හිටියා  පැයක් විතර. කම්මැලි කමයි කකුල් රිදෙන එකයි අමතක වෙන්න බ්ලොග් පෝස්ට් එකක් වත් ලියනවා කියලා හිතුවා.

දැකපු විශේෂ දේ තමයි සුපර් මාර්කට් එකේ වැඩ කරපු මගේ යාලුවෙක්ට කළු අප්‍රිකාවේ මිනිහෙක් හෙන සද්දයක් දාපු එක.
මට පුදුම හිතුණා ඒක දැකලා. අපි වෙන රටකට ගිහින් එහේ ඉන්න ස්වදේශික මිනිස්සුන්ට සද්දෙ දාන්න යන්නේ නැහැනේ හැබැයි මුන් එහෙම නෑ. මුන්ගේ රටේ හැටිද මන්දා. අපේ මිනිස්සු උනත් ඉතින් වෙන රටක මිනිහෙක් නම් සෑහෙන බයෙන් තමයි කතා කරන්නේ. ඒකත් මේ අපේ මිනිස්සුන්ගේ ඇගේම තියෙන දෙයක්ද කොහෙද.

අනිත් දේ තමයි මිනිස්සු ඇඳිරි නීතිය ට පස්සේ පාරේ යන්නේ පිස්සුවෙන් වගේ. වාහන වෙනදාට වඩා වේගෙන් යනවා. පොලිම් පනින්න බලනවා. ඒකත් හැබැයි අපිට ජාන වලම තියෙන දෙයක්.

මේවා සමහර විට survival එකට වඳුරෝ කාලේ ඉඳන් එන දෙයක් වෙන්න ඇති. කපටි ශක්තිවන්ත වඳුරෝ ජිවිතේ බේරාගෙන පරම්පරාව ඉස්සරහට ගෙනියනවා. එහෙම බලාගෙන ගියාම තාමත් අපි ස්වාභාවික වරණ වාදයට ලක් වෙලා ඉන්නේ. ලෙඩ වලට ප්‍රති ශක්තිය තියෙන මිනිස්සු ලෝකේ ඉතිරි වෙද්දී එහෙම නැති මිනිස්සු මැරිලා යනවා.


මිනිස්සුන්ගේ හැම හසිරීමක්ම තේරුම් කරන්න තියරි තියෙනවා ඒත්,  ඉතින් පහුගිය දවස් ටිකට සෙට් වෙලා අරක්කු බීපු ට්‍රිප් ගිහිපු ක්‍රිකට් ගහපු උන් ගැන සහ විශේෂයෙන් අර නිරෝධායනය වෙන්න කිව්වම පොලීසියත් එක්ක රණ්ඩු වෙලා චණ්ඩි පාට් දාපු උන්ගේ හැසිරීම් නම් theory එකකින් තේරුම් ගන්න මට අමාරුයි.

තාමත් පෝලිමේ....
අර කල්ලා ඉදගෙන අපේ මිනිස්සුන්ට බනිනවා බලාගෙන අපි ඔක්කොම ඉන්නවා.  ඌ තාමත් ඇත පය දීක් කර කර උගෙ අප්පාගේ රට වගේ බනිනවා.

Sunday, March 22, 2020

කොරෝනා අස්සේ හැදුනු දත් අමාරුව





දත් රෝග සම්බන්ධව මට ඇති අත්දැකීම් කොච්චරද කියනවා, නම් මගේ කටේ දත් වලට කරපු ප්‍රතිකාර අධ්‍යයනය කරලා දන්ත වෛද්‍ය වරයෙක් වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට. එච්චරටම මගේ කටට එක එක විදියේ දේවල් කරලා තියෙනවා.

පොඩි කාලේ මගේ කිරි දත් ටික ගැලවිලා ගියා, යට කොටස ඉතිරි කරලා. ඊට පස්සේ ඉස්පිරිතාලෙක ඇඩ්මිට් කරලා සිහි නැති කරලා විදුරුමහ පළලා තමයි ඒ කොටස් අයින් කලේ.

ඊට පස්සේ ඉස්කෝලේ යන කාලේ හක්කේ දත් දෙකක් රිදෙන්න ගත්තා. මුලදී පුරවා පුරවා හිටියට පස්සේ දත් කැඩිලා යන්න ගත්ත නිසා ස්නායු පිරවීමක් එහෙම නැත්නම් nerve filling කරන්න උනා. දැන් වගේ නෙවෙයි ඒ තාක්ෂණය ඒ දවස් වල දියුණු නෑ. බොහොම දුකක් විදින්න උනා. ගලවන්නත් එපා කිව්වා දොස්තරලා මොකද කට දෙපැත්තෙන් කම්මුල ඇතුලට යයි කියල.

මේ තියෙන්නේ ස්නායු පිරවීමක් කරන විදිය 

ඔන්න ඒ දෙක යන්තම් ස්නායු පුරවලා බේරගත්ත. රස්සාවක් කරන්න ගත්තම ස්නායු පුරවපු දතක් ලග තිබුන තව දතක් රිදෙන්න ගත්තා. දැන් මොකද කරන්නේ ඒකත් බේරගන්න බැරි උනා. ඒකටත් ස්නායු පිරවුමක් කරන්න උනා.

දැන් දත් තුනක් ස්නායු පිරවීම් කරලා. කරුමේ කියන්නේ මේ අවුරුද්ද මුලදී දත් තුනම උඩ කොටස් වලින් කැඩිලා ගියා. මේ සැරේ නම් මට සැහෙන ගානක් වියදම් කරන්න උනා. ඒ කියන්නේ එක දතකට Crown එකක් දැම්ම. අනිත් දත් දෙකම අල්ලලා bridge  එකක් දැම්ම.
දැන් උඩ  බිම බලන්න එපා ඒ මොනවද කියලා. ලැබ් එකක දතේ අච්චුවක් අරගෙන දතක් හදලා ස්නායු පුරවපු දතට උඩින් අලවනවා වගේ දෙයක් කරන්නේ.


එතනින් නැවතුනේ නෑ මගේ කරුමෙට මේ කොරෝනා අස්සෙත් දැන් තව දතක් රිදෙනවා. දවසට දෙපාරක් දත් මැද්දම ඇති කියලා කිව්වට මට නම් ඒ තියරිය හරි යන්නේ නෑ වගේ. හැබැයි මේ සැරේ මට හොද දොස්තර කෙනෙක් සෙට් උනා.

දත් මදිනවට අමතරව මට දත් දෙකක් අතර inter dental brush එකකින් සුද්ද කරන්නත් වෙලා තියෙනවා. ගොඩක් අය දන්නේ නැති දොස්තරලා කියන්නේ නැති දෙයක් මේ දොස්තර මට කිව්වා. ගොඩක් අයගේ දත් නරක් වෙන්නේ හක්කේ. එහෙම නරක් වෙන්නේ දත් මදින්නේ නැති නිසා නෙවෙයි ත්‍රිමාන විදියට දත වටේම සුද්ද වෙන්නේ නැති නිසා.
ඇත්තම කතාව තමයි දත දෙපැත්තෙන් විතරයි අපි මදිනකොට සුද්ද වෙන්නේ. දත් අතර දත් බුරුසුවෙන් මදින්න බෑ. එකට තමයි dental  floss  හරි inter dental brush තියෙන්නේ. හැබැයි ඉතින් මේවා ගණන්. එදා වේල හොයන මිනිස්සුන්ට මේවා කරන්න බෑ දත නරක නම් ගලවලා දානවා ඇරෙන්න.


මේ තියෙන්නේ  inter dental brush එක 


මේ තියෙන්නේ dental floss එකක් 


කොහොම හරි දැන් ඉතින් ශේප් එකේ ඉන්න වෙනවා දතේ අමාරුව හිතේ විඳගෙන ඇඳිරි නිතිය ඉවර වෙනකන්.