Friday, January 3, 2020

හොද ආහාර පුරුදු වලින් ඈත් කරන්නේ අපි වටේ ඉන්න මිනිස්සුමයි

මම මේ දවස් ටිකේම දවල් කෑම සහ උදේ කෑම අවුල් සහගත විදියට ගන්නේ. හේතුව වැඩ කරන තැන ටීම් එක එහෙ මෙහෙ යාම. දැන් ඉන්න තැන කෑම ගන්න ප්ලේස් එකක් නෑ ඉතින් අහුවෙන කඩේකින් මොනවා හරි ජරාවක් කනවා . මට හොදටම ඕනෑකමක් තියෙනවා ගෙදරින් පලතුරු ටිකක් හරි එළවලු ටිකක් හරි අරගෙන ගිහින් දවල්ට කන්න. දවල් රත් වෙලා ඉද්දි සීතල පලතුරු කෑල්ලක් කනකොට එන හැගීමට මම කැමැතියි. එත් ලැජ්ජාව නමැති විසකුරු සර්පයා මාව පස්සට අදිනවා. අනිත් උන් බත් ගිලිද්දී මම විතරක් කෑම පෙට්ටියක තියෙන පලතුරු කකා ඉද්දි මිනිස්සු පිටසක්වල ජීවියෙක් දිහා වගේ බලන් ඉන්න හැටි , ඔෆිස් එකේ කෙල්ලෝ කෝචෝක් එකට හිනා වෙනවා මට මැවිලා පේනවා. ඉතින් බැහැනේ කරන්න.

මේ ලඟදි ඉදන් මට බත් එපා වෙලා තියෙන්නේ. බත් විතරද අප්පා අපිට කන්න තියෙන්නේ? එත් වෙන දෙයක් කන්න බෑ සමාජේ මව කොන් කරයි කියලා බයේ උන් එක්කම උන් කන ඒවම කනවා. අපි හොද ආහාර පුරුදු වලින් වැලක් වීමට අපේ වටේ ඉන්න මිනිස්සුත් වග කියන්න ඕන.  මම සීනි හැන්දක් විතරක් දාල තේකක් බොද්දි , එහෙම නැත්නම් උදේටත් ඔෆිස් එකේ කේක් කාල හවසට ඩෝනට් කන්න යද්දී අපෝ  බෑ සීනි ඔච්චර කන්න හොද නෑ කිව්වම මිනිස්සු පුදුම වෙනවා. 

මුගේත් හෙන කැටයම් තියෙන්නේ ,
කාපන් බං මේක විසි කරන්නද උබ කියන්නේ ?,
අනේ මේ පිස්සු නැතුව කාපන් ,
මේක කෑවම උබ මැරෙන්නේ නෑ ,
එහෙනම් ඉතින් මම කන විදියට මම දැන් මැරිලා
ඇයි උබට උදේ කන්න හොදයි දැන් කන්න හොද නෑ,

එහෙම කියල බලන්නේ මෙහෙම

Photo by Charles on Unsplash


තව සමහරු මම වෙජිටේරියන් කිව්වම ඔහොම බලනවා හරියට එහෙම මිනිස්සු මේ ලෝකේ තවත් නෑ වගේ. වෙජිටේරියන් කිව්වම අහන්නේ මෙහෙම 
එතකොට හාල්මැස්සෝ කන්නේ වත් නැත්ද ?
උම්බලකඩ කන්නෙත් නැත්ද ?
උබ කේක් කනවනේ කේක් වල බිත්තර තියෙනවනේ
බොරු..
කවද ඉදන් ද කන්නේ නැත්තේ ?
ඔහොම හොද නෑ බං
ළමයි හදන කාලෙක හෙන ප්‍රශ්න එයි හොදේ 
ඇයි කන්නේ නැත්තේ ?
ඔහොම ඉතින් උබට මුකුත් කන්න බැහැනේ
මාළු කැල්ලක්වත් නැතිව බත් කන්න පුලුවන්ද බං 
ගෙදර මිනිස්සු කන්නේ නැත්ද?
උබ මහන වෙන්නද යන්නේ

මම වෙජිටේරියන්,  ඕව කිව්වට නම් මම සැලෙන්නේ නෑ. හැබැයි සමහර වෙලාවල් තියෙනවා වෙජිටේරියන් හින්දා පාටි වලට ගිහින් බිම එක විතරක් බීලා බඩගින්නේ ගෙදර ආපු. එහෙම නැත්නම් යාලුවෝ සෙට්වෙලා නන් වේජ් තැනකින් බුරියානි වගේ කන්න යද්දී මම ඔෆිස් එකේ තනි වෙලා හිටපු වෙලාවල්.

දවල් කෑම ප්‍රශ්නෙට නම් මට තාමත් විසදුමක් නෑ. ඉතින් ඒ නිසා තමයි අපි කන්න ආස උනත් ඒ කෑම කන එකෙන් අයින් වෙන්න වෙන්නේ වටේ උන් ගේ බලපෑම නිසා. යාලුවෝ , අම්මලා තාත්තලා නිසා හොද ආහාර පුරුදු වලින් ඈත් වෙන්න අපිට සිද්ද වෙනවා.  මම හිතන්නේ වෙන රටවල් වල ඔය ප්‍රශ්නේ නෑ . 

මේ ලඟදි මට ඇහුන බස් එකේ රේඩියෝ එකේ නිවේදකයෙක් කියනවා ලෝකේ අවුරුද්දකට මරණ වලින් 30% ක් ඇති වෙන්නේ වැරදි ආහාර පුරුදු නිසා කියලා. අපි කොච්චර තෙල් මිරිස්  ලුණු සිනි වැඩියෙන් ගන්නවද කියලා දැනෙන්නේ එකෙන් ඈත් වෙලා එහෙම කන ය දිහා බලන කෙනෙක්ට විතරයි. කලින් පොස්ට් එකකත් මම කිව්වේ මනුස්සයෙක්ට මුළු දවසටම ඕන සිනි ටික මයිලෝ පැකට් එකේ තියෙනවා. මයිත්‍රී මාමා බොරු කියලා නෑ. සිනි වලින් ඈත් උනාට පස්සේ මගේ බරත් අඩු උනා වගේ මට දැනෙනවා. ඉතින් අපි ඔක්කොම මේ ආහාර පුරුදු ගැන දන්නවා හැබැයි අපි ඈත් වෙන්නේ නෑ. එකක් ආත්ම ශක්තියක් ඇති කර ගන්න බෑ. අනික මම වගේ යාලුවෝ ඉස්සරහ බයිට් වෙන්න බයයි. ඉතින් දැන දැන වස ජාතිම කාල ඉක්මනට ලෙඩ හැදිලා මැරිලා යන එක වලක්වන්න බැහැනේ.

යාලුවොන්ට චාටර් නොවී හෙල්දී ඩයට් එකක් මට දවල් ට කන්න විදියක් ගැන විසදුමක් දෙන්න පුළුවන් කෙනෙක් පහලින් කොමෙන්ට් එකක් දාල යන්න

No comments: