Saturday, December 7, 2019

අපේ ගෙදර පුසෝ හෙවත් අනුකම්පාවක් වූ භූමිකම්පාව



සත්තුන්ට අනුකම්පාව දක්වන්නට ගොස් අනුකම්පාව භූමිකම්පාවක් වෙච්ච සිද්ධියක් මට සිද්ධ උනා. මුල ඉදන්ම කතාව කිව්වොත් අපිට කියා අපේ ගෙදර පුසෝ නැත. ඔක්කොම ඉන්නේ වටේ ගෙවල් වල පුසන් ය. මුලදී එක අල්ලපු ගෙදර හිටපු පූසි කෑම වෙලාවට අපේ ගෙදර එන්න පුරුදු වෙලා හිටියා. සතෙක්ට කන්න දුන්නට මොකද කොච්චර පිනක්ද කියල අපේ ගෙදර අයත් කෑම දුන්න. ටික දවසක් යනකොට මෙන්න එනවා පැටියෙකුත් උස්සන්. ආව පැටියා අපේ වත්තේ තිව්වා ඊට පස්සේ ඇහැක් ඇරලා බැලුවේ නෑ. කෑම කන්න එන වෙලාවට අර පොඩි එකා කිරි බොන්න ලගට ආවත් ගහලා පැන්නුවා.හරියට මේ අපි කරපු දෙයක් වගේ. මොනවා කරන්නද තව පැටියෙක් වැඩි න කියලා ඌටත් ෆුල් පැකේජ් එක දෙන්න ගත්ත. (කිඩ්ස් මීල්) ඒ කිව්වේ අම්ම කිරි දීම ප්‍රතික්ෂේප කරන නිසා ප්‍රධාන ආහාර වලට අමතරව එළකිරි ලබාදීමට සිදු උනා. 

ඔන්න යන්තම් ශේප් එකේ දවස් ගෙවිල යද්දී මෙන්න ලග තිබුන සුපර් මාර්කට් එක ලග පුස් පැටවූ දෙන්නෙක් දාල ගිහින් පවුකාරයෙක්. උන් දෙන්නා දොර ලගට වෙලා ඉන්නවා ඇතුලට යන්න විදියක් හොය හොයා. ඉපදිලා සති දෙකක් වගේ ඇති. උදේ ගියාම තමයි මුලින් දැක්කේ. හවස යද්දිත් ඉන්නවා උදේ වගේ නෙවෙයි දැන් පන නෑ අව්වේ වැටිලා ඉන්නවා අපිව මැරිලම පලයල්ලා කියන්න වගේ. වෙන මොනවා කරන්නද කඩදාසි කොලෙකින් හදපු කවරෙක දාගෙන දෙන්නව අරන් ආව ගෙදර. කොච්චර පොඩි ද කියල එතකොට හිතන්නකෝ.  මහා සෙනගක් එන සුපර් මාර්කට් එකේ හැබැයි හතර පෝයට සිල් ගන්න මිනිස්සු සහ මහා පින් දහම් කරලා ලෝකෙට පෙන්නන මිනිස්සු හිටියා. ආයිත් නෑ මිනිහෙක් ඇහැක් ඇරලා වත් බලලා නෑ කන්න ටිකක් වත් දෙන්න මේ පැටවූ දෙන්නට.


උස්සගෙන ඇවිත් මම බිම තිව්වම එක පැටියෙක් තියපු විදියටම බිම හාන්සි වෙලා ඔලුව බිම තියා ගත්තා. මම හිතුව ඉවරයි තමයි කියල. කොහොම හරි උන් දෙන්නට මාළු කූරි දෙන්නෙක් සහ කිරි ටිකක් දුන්න විතරයි ක්ෂණික ක්‍රියාකාරී සත්තු දෙන්නෙක් බවට පත් වෙලා ගේ වටේ  සංචාරය කරමින් අලුත් ස්ථානය අධ්‍යානය කිරීමට පටන් ගත්තා. අමාරුවෙන් අනිත් ගෙවල් අධ්‍යයන චාරිකා නවත්තගත්තේ. නැත්නම් හොයා ගන්නත් බැරි වෙනවා. ඔන්න දැන් පුසෝ  4 දෙනයි. මුලදී කාඩ් බෝඩ් පෙට්ටියක් ගෙයක් විදියට හදල දීලා පස්සේ රෙදි දාපු කුඩයක් හදලා දුන්න. දැන් එකේ තමයි නිදි.

පොඩි උනාට මුන්ගේත් හෙන ලොකු ලයින්. උදේට අනිවා කිරි එකක් ඕන. ඊට පස්සේ පොඩි මාළු කැල්ලක් ඕන. වතුර බොන්නේ නෑ සමහරු කිරි විතරයි. සතියක් විතර යද්දී මෙන්න මුන් කෑම කන වෙලාවට තව පුසෝ වටින් ගොඩින් එනවා එකා දෙන්න. ටික දවසක් යද්දී මම ගණන් කරනකොට පොඩි පුසොන්ට අමතරව මහා පුස් තඩියෝ ඉන්නවා 7 ක් විතර. මුන්ට කෑම දුන්නේ නැත්නම් අර පොඩි උන්ගේ එක බලෙන් කනවා. දැන් ගෙදර වෙනම බත් හට්ටියක් උයනවා පුසෝ 10 කට 15 කට විතර. කෑම එනකන් ගෙදර දොර ලග මුර කරනවා විතරක් නෙවෙයි මුන් දොර ඇරපු ගමන් සමහරු ගෙට පනින්න හදනවා උඩ පනිනවා , කෑ ගහනවා , පොර කනවා , මරා ගන්නවා නිකන් යුද්දේ වගේ. හොදම සීන් එක හැමෝටම වෙන වෙනම තමයි කෑම දෙන්න ඕන නැත්නම් ඉතින් ගුටි කෙලි තමයි.

තව හොදම කතාව තමයි ගෙදර ඉන්න බලල ගෙදරින් එලියට බැස්සොත් ඌට හොද නියපොතු පාරවල් ටිකක් ලැබෙනවා. ඒ නිසා උගේ ශරීර කෘත්‍ය කටයුතු හරිම රහසිගතව පුසෝ නැති වෙලාවක් බලල ගෙදර දොර ලගට ගිහිල්ල වටේ ඉව කරලා ෂුවර් කරගෙන තමයි සිදු කරන්න යන්න උනේ. මම කලින් කිව්වා වගේ අපේ බල්ලා කාටවත් බුරන්නේ නෑ අපිට ඇරෙන්න. එච්චර චන්ඩි බල්ලෙක්. බල්ලෙක් කියන හැඩරුව විතරයි උගේ තියෙන්නේ වැඩ අතින් ඌ හාවෙක් කියල කිව්වට වරදක් නෑ.

එක සැරේට එක පූස් පැටියෙක් කෑම වර්ජනය කළා. වමනේ දාන්න ගත්තා. හොදටම උන හැදිලා පැත්තකට වෙලා ඉන්නවා. දවස් දෙකක් බැලුවා මේ වැඩේ හරියන්නේ නෑ උස්සන් ගියා කූඩෙක ගෙන ලග තියෙන පසු වෛද්‍ය කෙනෙක් ලගට. ඒ ගෑනු කෙනා ඉන්ජෙක්ෂන් හතරක් පහක් ගහලා බොන බෙහෙත් වගයක් දීලා පණු අමාරුව කියල ගෙදර එව්වා. අපේ තියෙන මොකක්ද පවු කාර කමට මු බෙහෙත් බොන්න කටක් ඇරියේ නෑ . බල්ලෙක් වගේ නෙවෙයි පූසෙක්ට බෙහෙත් පොවන්න බෑ බලෙන් කට ඇරියම ඇත අහු වෙනවා උල් දත් වලට කොටියෙක් වගේ. අපිට මහා දුකක් උරුම කරලා ඒකා මහා රැ අවසන් හුස්ම හෙලුවා. අපේ කාමරේ ලගම මල් ගහක් යට වල දැම්ම.

ඒ ඔක්කොම ඉවර වෙලා දවසක් ගෙවුනේ නෑ අනිත් උන් දෙන්නගෙන් එක්කෙනෙක් කෑම වර්ජනය කළා. ඒමදිවට හොදටම උණ. අර ඩොකා හරියන්නේ නෑ කියල නුගේගොඩ තියෙනවා ප්‍රසිද්ධ සත්ව රෝහලක්. ඒකට උස්සගෙන ගියා. කියන්න වරදක් නෑ එකේ දොස්තරලා දඩබඩ ගාල සේලයින් දීල අයිස් තියලා යන්තම් උණ බැස්සුවා. බෙහෙත් දුන්න බොන්න. ඒ වගේම වියදමත් ටිකක්  සැරයි. වරදක් කියන්න බෑ සර්විස් එකේ හැටියට ගැන සාධාරණයි. ඊලග දවසේ ඉතිරි පූස් පැටියත් උණ බෝකර ගත්තා. දැන් දෙන්නවම උස්සන් යන්න උනා උදේ හවස. බ්ලඩ් චෙක් කරලා මොකක්ද මන්ද උණක් ගැන නමක්  කිව්වා. බෙහෙත් විද්දේ නැත්තේ අයි කියලා ඇහුවා. අනේ අපි පොඩි කාලේ ඉදන් දන්නේ පුසොන්ටයි බල්ලොන්ටයි හැදෙන්නේ ජාල භීතිකාව කියල ඒ ඉන්ජෙක්ෂන් එක විතරනේ ගහන්නේ. දැන් ලෝකේ දියුණු හින්දා පුසෝ පොෂ් වෙලා සැහෙන ලෙඩ ගොඩක් හැදෙනවා. ඒ ඒ ලෙඩේට වෙනම එන්නත් කරන්න ඕනලු. ලෙඩේ හැදුනට පස්සේ දෙන්නත් බෑ. 

කොහොමින් කොහොම හරි ජීවිතයයි මරණයයි අතර සටනක් කරලා සතියකට පස්සේ මේ දෙන්න යන්තම් බේරුනා. හැබැයි ඒ සතියෙම උදේ හවස සේලයින් දෙන්න එක්කන් ගිහින් මම බාගෙට මරුන. ඒ විතරක් නෙවෙයි එක සේලයින් ෂොට් එකකට දෙන්නට රු 2500/- ගානේ උදේ හවස ගෙවන්න උනා. ඊට අමතරව එක එක සිරප් විටමින් ගන්නත් සල්ලි ගියා. ඇයි ත්‍රි විල් වලින් යන්න සල්ලි. මේ ඔක්කොම බැලුවම මගේ මුළු පඩියම සතියෙන් ඉවර උනා. 

ඊට පස්සේ හොදම කෑල්ල. බත් දෙන එක සම්පුර්ණයෙන්ම තහනම් කළා දොස්තරලා. පුසොන්ට බත් දෙන්න හොද නැහැලු. පෙට් ෆුඩ් ඇන්ඩ් ෆිෂ් ඔන්ලි. පෙට් ෆූඩ් එක සතියට රු 650 යි. මාළු තුන් වේලටම දෙන්න ඕන සතියට කිලෝ එකක් විතර යනවා. අපේ ගමේ ඉන්න පුසෝ බත් විතරයි කන්නේ. මාළු කුරියෙක් තියා මාළු ඔලුවක් ලැබෙන්නෙත් කලාතුරකින්. මේ ඔක්කොම අර එළියේ ඉන්න මහා පුස් සෙනගට අමතරව හොදේ.

උන හැදිලා ඉද්දි දෙන්නව ගේ ඇතුලේ තියාගෙන පැයෙන් පැයට රෙදි කැලි තෙම තෙම පිහිදාන්න උනා පොඩි උන් වගේ. දැන් මුන් දෙන්න ගේ ඇතුලේමයි එලියට යන්නේ නෑ. ඉතින් මුන් පුසොනේ, දගලනවා ඉවරයක් නෑ. දැන් මුළු ගෙදර තියෙන ඔක්කොම බිදෙන ජාති ඉවත් කරලා බිම තියල තිබුන  ෆොටෝ ටිකත් සාලේ මෙසේ උඩින් පරිස්සමට තියල, ජනෙල් රෙදි ඔක්කොම අකුලලා, අපි සාලේ පුසොන්ට දීලා කාමර වලට වෙලා , උදේ නැගිටිනකොට කොහේ හරි චූ දාලා තියෙයි කියල බයේ ගැහි ගැහි නිදා ගන්නවා. 

ඔන්න ඔහොමයි සත්ව අනුකම්පාව භුමි කම්පාවක් වෙලා ඉවර උනේ.
කියවලා නිකන් නොයා කොමෙන්ට් එකක් දාල මාව දිරිමත් කරලා යන්න ඉතින්

2 comments:

Unknown said...

Bohoma pin,karanawantha bawata.

කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි) said...

පුසෙක් හින්දා මිට අවුරුදු තුනකට කලියෙන් මාර වැඩක්වුනා. ගෙදර මියෝ බේවෙලා හින්දා පුස් පැටියෙක් ගෙනාවා. එකකොට අවුරුදු දෙකහාමාරක් විතර වයස පුතන්ඩියා ගේ වැඩේ මේකාව අහුවෙන අහුවෙන සැරේ වතුර බාල්දියේ හරි කානුවේ හරි ඔබන එක. ටික දවසකින් ඌ වැලිගම්පිටි ගියා. බේර ගන්න බැලුවාට බැරිවුනා. මාසයකට විතර පස්සේ පුතාගේ ඔලුවේ කොන්ඩේ යන්න පටන් ගත්තා. සමේ රෝගයක් බෝවෙලා. සමේ රෝග දොස්තරලා කිව්වේ මේ ලෙඩ් බෝවෙන්නේ බල්ලෝ පුසන්ගෙන් කියලා. අපේ ගෙදර බල්ලෝ පුසෝ නෑ. දැන් හොයනවා. කොහෙන්ද මේක බෝ වුනේ කියලා. පස්සේ මතක්වුනේ මැරිච්ච පුස් පැටියාව. අන්තිමේදි ලෙඩේ සනිපකරගන්න මාර දුකක් වින්දා. දැන් නම් කොච්චර ආදරේ ආසවුනත් ගෙදරට බල්ලෝ පුසෝ තහනම්.