Monday, November 18, 2019

කෝ මේ බ්ලොග් ලියපු කියවපු උන් ?


ලියන්න පුළුවන් වෙලාවට ලියන්න ඕන කියල හිතුන නිසා තව පොස්ට් එකක් ලියන්න හිතුනා. අද මට උදේ නැගිට්ට ගමන් මතක් උන දෙයක් තමයි එක්තරා කාලයක් තිබුන බ්ලොග් ලියන එක කියවන එක උණක් වෙච්ච. ඒ කාලේදී මිනිස්සු පිස්සුවෙන් වගේ බ්ලොග් ලිව්වා. සමහරු බ්ලොග් දෙක තුනක් ලිව්වා. අපි ඔෆිස් වල වෙලාවක් අපු ගමන් යන්නේ අලුතෙන් ආපු පොස්ට් කියවන්න. බ්ලොග් දර්ශක තිබුනා ඔක්කොම බ්ලොග් එක තැනකින් කියවන්න පුළුවන් විදියට. කොටින්ම කියවනවා නම් මට මතකයි දවසක් ඇතුලත කියවල ඉවර කරන්න බැරි තරම් පොස්ට් ඒවා පබ්ලිෂ් උනා. ඇයි බ්ලොග් ඒවා අතර පට්ට වලි ගියා. වලි කිව්වේ පොස්ට් වලින් දෙපැත්තට ගහ ගන්න එක. ඒවා කියවන එක තරම් රසවත් නෑ වෙන කිසිම දෙයක්.

සිරාවට කෝ දැන් කියවපු අයයි ලියපු අයයි දෙගොල්ලොම නැතිවෙලා ගිහින් වගේ මට හිතෙනවා. මේක වෙන්න හේතුවක් මට හිතා ගන්න බෑ. බ්ලොග් කියවන ලෝකේ නිකන් ක්ෂේම භූමියක් වගේ තිබිලා දැන් නිකන් කාන්තාරයක් වගේ වෙලා. සමහර ය ඉන්නවා තාමත් මාසෙට පෝස්ට් හතරක් වත් ලියන අය. සමහර අය ඉන්නවා මම වගේ ඉඳල හිටලා පෝස්ට් එකක් දාල අතුරුදහන් වෙලා යනවා. මට හිතට එන හේතු කීපයක් තිබුනත් සමහර ඒවා මම විසින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒවා නම් 


1. බ්ලොග් ලියපු අය වයසට ගිහින් - එත් උන්ට ලියන්න බැරි වෙන්න හේතුවක් නෑ. හරි උන් වයසට ගියාට තරුණ අය ඉන්නවනේ කෝ උන්?
2. බ්ලොග් ලියපු අය කාර්යබහුල වෙලා - හැමෝම එහෙම වෙන්න විදියක් නැහැනේ 
3. සමාජ ජාල වලට කට්ටිය ගිහින් - සමාජ ජාල ඒ කලෙත් තිබුන. මීට වඩා කට්ටිය ඒවාට ඇබ්බැහි වෙලා හිටිය
4. youtube සල්ලි හොයන්න තමයි දැන් ඔක්කොටම ඕන. පඳුරකට පයින් ගැහුවත් youtubers ලා හතර පස් දෙනෙක් විසි වෙනවාය. (මේ ගැන ලියනවා නම් වෙනම පොස්ට් එකක් ලියන්න තරම් හිතට කරුණු එනවා)
5. සිංහල භාෂාවට තිබුන තැන නැති වෙලාය. හැමෝම පොෂ් වෙලාය.
6. ෆේස්බුක් වගේ ලියන ඒවා share වෙන්නේ නැත. hit වෙන්නේ නැත.

කොහොමත් හැමදෙයක් ම ස්ථිර නෑ. කාලෙන් කාලෙට එක එක රැළි ඇවිල්ලා මිනිස්සු අවුස්සලා නැති වෙලා යනවා. හැබැයි බ්ලොග් කියන්නේ කලාවක් කියල මට හිතෙන්නේ. කලාවක් රැල්ලක් වෙන්න පුළුවන්. එත් කලාවක් නැති වෙලා යන්නේ නෑ. කලාවෙන් මිනිස්සු තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. චිත්‍ර අදින මිනිහා සහ ඒ චිත්‍රය රස විඳින මිනිහා ඒකෙන් යම් කිසි මානසික තෘප්තියක් ලබනව. ඒ වගේ බ්ලොග් ලියන කෙනා සහ කියවන කෙනා ඒකෙන් යම් දෙයක් මානසිකව භුක්ති වින්දිනවා.

මම මේ පෝස්ට් එක ලියල target කලේ බ්ලොග් ලියන පිරිසයි. කරුණාකරලා ආයිත් එන්න බ්ලොග් ලියන්න. ඉස්සර වගේ මිනිස්සු බ්ලොග් කියවන්නේ නෑ තමයි. එත් කියවන මිනිස්සු තාමත් කියවනවා. ප්‍රශ්නේ තියෙන්නේ එන උන්ට කියවන්න දෙයක් නැති උනාම එපා වෙලා ආයිත් එන්නේ නැති එකයි. උඹල තනි වෙලා නෑ. හිතට එන දේවල්, අධ්‍යාපනික, ප්‍රවෘත්ති බ්ලොග් පෝස්ට් ආයිත් ලියන්න ගනිල්ලා. ප්‍රශ්න කතා කරමු වලි දාගමු කාටවත් හානියක් නෑ. ඔය ඔලුවේ තදකරන් ඉන්න දේවල් ලියපල්ලා, එතකොට අඩු ගානේ stress එක හරි අඩු වෙලා හරි යයි. ලියපල්ලා දිගටම අලුත් පෝස්ට් එද්දී කියවන්න එන මිනිස්සු එනවා, පරණ අයත් එනවා අලුතෙන් අයත් එනවා. ආයිත් ලියමු ද ?

2 comments:

nihalw said...

මම නම් වයසට ගිහිල්ලා .ලියන්න හොඳ මානසික තත්වයක් නෑ - යථාර්තවාදියා

මධුර දේශය said...

කාලෙකින් ලිව්වේ නෑ තමයි..