Saturday, September 19, 2015

පොත් ප්‍රදර්ශණයයි මමයි.

source: http://files.stjohnofgodartane.com/200069093-5fc1061b5c/hug-club-clip-art-720.jpg

හැමෝම පොත් ප්‍රදර්ශණය ගැන ලියන එකේ මමත්  ලියන්න හිතුව ඒ ගැන. මුලින්ම මම ඒකට ගියේ මීට අවුරුදු හත අටකට කලින්. කරුමෙට ගියෙත් අන්තිම දවසේ. හොඳ පණ ගියා. අායිත් නම් අන්තිම දවසේ යන්නේ නැහැ කියන පළවෙනිම පාඩම ගිය පළවෙනිම දවසේ ඉගෙන ගත්තා.

ඊට පස්සේ හැම අවුරුද්දෙම  ගියා විතරක් නෙවෙයි සතියට දවස් දෙක තුනක් ගිහිපු අවුරුදුත් තිබුන. හැබැයි ඉතින් ගත්ත පොතක් නම් නෑ. මම නම් ගියේ පොත් ගන්නවට වඩා කාලෙකින් නොදැක්ක යාලුවෝ ටික එක්ක රවුමක් දාන්නයි , පොත් පිටින් බලන්නයි. ආහ් තව මැගී කන්නයි බීම බොන්නයි. මේ සැරේ මැගී නැතිව ඇති කියල හිතනවා. දන්නවනේ ඉතින් හේතුව මොකක්ද කියල.

ඇත්තම කිව්වොත් කන්න බොන්න විතරක් ලොකු ගානක් යනවා. පොත් ගන්න සල්ලි ඉතිරි වෙන්නේ නැහැ කාල බීල ඉවර උනාම. ඇයි අප්පේ යාළුවොන්ටත් අරන් දෙන්න වෙනවනේ. උනුත් මොකක් හරි මගුලක් මතක් කරලා උඹ අපිට පාර්ටි දුන්නේ නෑ කිව්වම අරන් දෙන්න වෙනවනේ. මාත් නිකන් ඉන්නෙ නෑ. චාන්ස් එකක් ආපු ගමන් උන්ගේත් දත් ගලවනවා. කොහොමින් කොහොම හරි උදේම ගිහින් රෑ වෙලා හිස් අතින් ඒනවා. ගත්ත පොතකුත් නෑ. පොත් නොගන්නේ ආස නැති නිසා නම් නෙවෙයි. කාලයක් තිබුන කන්නෙ බොන්නෙ නාන්නෙ නැතිව පොත් කියවපු. පබ්ලික් ලයිබ්‍ර‍රි එකේ උදේ ඉඳන් රෑ වෙනකන් පැල් බැඳන් පොත් කියවපු කාලයක් අපිටත් තිබුන කියල මතක් උනාම දුකේ බෑ.

අනික් අතට පොත් දෙකක් තුනක් ගත්තම අතේ තියෙන රුපියල් 5000 ක් විතර අතුරුදහන් වෙලා. ඒත් උදේ 7 ට ගිහින් 9 මැරිල ආවම නින්ද මිස වෙන දෙයක් මතක් වෙන්නෙම නෑ. සමහර දවසට ඇඳේ හාන්සි වෙලා පිටුවක් දෙකක් කියවද්දි නින්ද ගිහින් පොත පපුව උඩට වැටිලයි අවදි වෙන්නේ. 

සමහරු නම් අැවිත් පොත් මිටි පිටින් උස්සන් යනව දැක්කම දුකේ බෑ. ඒවා කියවනවද දන්නේ නෑ. සමහරු නම් පොත් ගෙනියන්නේ සෝබනේට. මට මතකයි එක කෙල්ලෙක් අවුරුද්දකට රුපියල් පහලොස්දාහක නවකතා පොත් ගන්නව. අරන් තව ගානක් දීලා බයින්ඩ් කරල ලස්සනට තියනව. මට නම් ඒක මෝඩ වැඩක් කියලයි හිතෙන්නේ. අනික තමන් හම්බ කරපු සල්ලි නම් කමක් නෑ. ගෙදරින් ඉල්ල ගන්නෙ.

මම කොහොමත් එක පොතක් කියෙව්වම ආයිත් ඒක කියවන්න හිතෙන්නෙ අවුරුදු ගානකට පස්සෙ. මම කියන්නෙ කතා පොත් ගැන. ඒ නිසා පොත් සල්ලි වලට ගන්නවට වඩා පුස්තකාලෙකින් ගන්න එක මට හරියන්නෙ.  මම දැන් නම් e books වලට හුරු වෙලා. කැම්පස් ටියුට් ඒවා PDF නිසා පස්සෙ කාලෙක මට e books  රහ වැටුන. කියවන්නත් ලේසී. බස් එකක උනත් පිටු පෙරලන්න අත එහෙ මෙහෙ යවන්න ගිහින් එහා පැත්තෙ මනුස්සයගෙ ඇඟෙ වදින්නෙ නෑ. ඒත් ඇත්ත පොතක් කියවන feeling එක e books වලින් ගන්න බෑ. ඒකනේ මිනිස්සු මිටි පිටින් ගෙනියන්නෙ.


මේ දවස්වල මම කියවන්නෙ මේ පොත. ඔෆිස් එකෙන් අමාරුවෙන් වදෙන් පොරෙන් හොරෙන් උස්සන් ආවේ. දැන් සතියක් විතර උනා තාම කියවල ඉවර නෑ. මේ ටිකේ හරි කාර්යබහුල උනා.කොහොම හරි මම මේ පාරත් book fair යනව. හැබැයි මේ සැරේ නම් වෙනද වගේ නෙවෙයි මම පොත් ගනීවි. නවකතා නෙවෙයි අධ්‍යාපනික පොත් ටිකක් ඕන වෙලා තියෙනව තදින්ම.



4 comments:

Anonymous said...

බොහෝ බටහිර රටවල්වල මිනිස්සු පොතක් පත්තරයක් සඟරාවක් එහෙම කියවලා කෝච්චියේ හරි බස් එකේ හරි පාක් එකේ හරි පුටුව උඩ තියලා යනවා තව කෙනෙකුට කියවන්න. බොහෝ වෙලාවට පොත සහ සඟරා පුණ්‍යායතන වෙළඳ සැලකට පරිත්‍යාග කරනවා.

සරා said...

ඒකත් එහෙමද? ඒත් ලංකාවේ අපි බලන්නෙ පොත් අරන් කියවල ලාච්චුවෙ දාල විතරක් තියාගන්න. ඒ විතරක් නෙවෙයි ලංකාවෙ පුස්තකාලෙකට බැඳෙනව කියන්නෙ හමුදාවට බැඳෙනවට වඩා අමාරු දෙයක්.

රතීගේ දිනපොත said...

\\සමහර දවසට ඇඳේ හාන්සි වෙලා පිටුවක් දෙකක් කියවද්දි නින්ද ගිහින් පොත පපුව උඩට වැටිලයි අවදි වෙන්නේ.\\

ඕක නම් කොමන් සීන් එකක්. විශේෂයෙන්ම ඉංග්‍රීසි පොතක් කියවන්න ගත්තම ඔය වැඩේ නිතරම වෙන එක වලක්වන්න බෑ මට නම්. මමත් ගියා පොත් ප්‍රදර්ශනය බලන්න සැප්තැම්බර් 20. හප්පා හිටපු සෙනඟ කන්දරාව. ඒ ඉරිදා නිවාඩු දවසක් හින්දා ගියේ. බාගෙට තම්බපු මැගී වෙනුවට එකසිය විස්සක් වෙන හොට් ඩෝග් එකක් කෑවා. බඩ දඟලන්න ගත්තා කෑව වෙලාවේ ඉඳන්. ගාන නම් ටිකක් අඩුයි තමයි. පොත් කඩවලට වඩා තිබුනේ කෑම කඩ.අපේ රටවල මිනිස්සු බොහොම අමාරුවෙන් සල්ලි වියදම් කරලා පොතක් ගන්න නිසා ඒකේ වටිනාකම තුන්වෙනි පන්තියේ රටවල්වලට දැනෙන දෙයක් නිසාත් වෙන්න ඇති තව කෙනෙක්ට දෙන්නේ නැත්තේ. සන්නස්ගල කියනවා වගේ ඒක අපිට මුදල් අතින් තියෙන දුප්පත්කමට වඩා චින්තන දුප්පත්කම නිසා වෙන දෙයක්. පුස්තකාලයෙන් අරන් මම ඊයේ පෙරේදා සන්නස්ගලගේ අම්මා කියෙව්වා. පොත් ප්‍රදර්ශනය බලන්න ගිහින් මම නම් ගත්තේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අපේ ගම කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය. වෙලාව ලැබෙන විදිහට කියවන්න වෙන නිසා ඉස්සර වගේ පොත් පස්සේ පන්නන්න වෙන්නේ නෑ.

සරා said...

ඒක නම් ඇත්ත "චින්තන දුප්පත්කම" මමත් පිලිගන්නවා.
හැබැයි ඉස්සර නම් පොතක් අතට ගත්තම ලෝකෙම අමතක වෙනවා. නිදිමත පලාතක වත් නෑ. ඒ වගේ කාලෙකුත් තිබුන කියල හිතුනම දුකේ බෑ. ඉස්සර පබ්ලික් ලයිබ්‍රරි ගියාම පොත් දෙකක් තුනක් අතුලේදීම කියවල දෙකක් අරගෙන තමයි එන්නේ. රස්සාවක් කරන්න ගත්තට පස්සේ හොද පුරුදු නැති වෙලා ගියා.

තව දෙයක් කියන්න ඕන "රතීගේ දිනපොත". මට පුදුම සතුටක් දැනුන ඔබේ comment එක දැකල. විශ්වාස කරයිද මන්ද මම මේ දවස් වල බස් එකේ යන ගමන් කියව කියව ගියේ ඔබේ "පරිගණක ජාලකරණය" e-Book එක. තොරතුරු තාක්ෂණ උපාධිය කරන කාලේ ඉගෙන ගත්ත දේවල් ආයිත් මතක්වුනා .ඔබ ලොකු සේවයක් කරනව. බ්ලොග් එකක් හදාගෙන මිනිස්සුන්ගේ හිත ඇවිස්සෙන දේවල් දාලා හිට්ස් ගන්න හදන මිනිස්සු ඉන්න ලංකාවේ ඔබේ කැපවීමට හා මහන්සියට මගේ ගෞරවය පුද කරනවා. ඔබේ බ්ලොග් අඩවිය දැනුම් සාගරයක්. මම තාම කියවල නැති පොස්ට් ඒවත් තියෙනවා. තවත් ලියන්න.