Saturday, September 19, 2015

පොත් ප්‍රදර්ශණයයි මමයි.

source: http://files.stjohnofgodartane.com/200069093-5fc1061b5c/hug-club-clip-art-720.jpg

හැමෝම පොත් ප්‍රදර්ශණය ගැන ලියන එකේ මමත්  ලියන්න හිතුව ඒ ගැන. මුලින්ම මම ඒකට ගියේ මීට අවුරුදු හත අටකට කලින්. කරුමෙට ගියෙත් අන්තිම දවසේ. හොඳ පණ ගියා. අායිත් නම් අන්තිම දවසේ යන්නේ නැහැ කියන පළවෙනිම පාඩම ගිය පළවෙනිම දවසේ ඉගෙන ගත්තා.

ඊට පස්සේ හැම අවුරුද්දෙම  ගියා විතරක් නෙවෙයි සතියට දවස් දෙක තුනක් ගිහිපු අවුරුදුත් තිබුන. හැබැයි ඉතින් ගත්ත පොතක් නම් නෑ. මම නම් ගියේ පොත් ගන්නවට වඩා කාලෙකින් නොදැක්ක යාලුවෝ ටික එක්ක රවුමක් දාන්නයි , පොත් පිටින් බලන්නයි. ආහ් තව මැගී කන්නයි බීම බොන්නයි. මේ සැරේ මැගී නැතිව ඇති කියල හිතනවා. දන්නවනේ ඉතින් හේතුව මොකක්ද කියල.

ඇත්තම කිව්වොත් කන්න බොන්න විතරක් ලොකු ගානක් යනවා. පොත් ගන්න සල්ලි ඉතිරි වෙන්නේ නැහැ කාල බීල ඉවර උනාම. ඇයි අප්පේ යාළුවොන්ටත් අරන් දෙන්න වෙනවනේ. උනුත් මොකක් හරි මගුලක් මතක් කරලා උඹ අපිට පාර්ටි දුන්නේ නෑ කිව්වම අරන් දෙන්න වෙනවනේ. මාත් නිකන් ඉන්නෙ නෑ. චාන්ස් එකක් ආපු ගමන් උන්ගේත් දත් ගලවනවා. කොහොමින් කොහොම හරි උදේම ගිහින් රෑ වෙලා හිස් අතින් ඒනවා. ගත්ත පොතකුත් නෑ. පොත් නොගන්නේ ආස නැති නිසා නම් නෙවෙයි. කාලයක් තිබුන කන්නෙ බොන්නෙ නාන්නෙ නැතිව පොත් කියවපු. පබ්ලික් ලයිබ්‍ර‍රි එකේ උදේ ඉඳන් රෑ වෙනකන් පැල් බැඳන් පොත් කියවපු කාලයක් අපිටත් තිබුන කියල මතක් උනාම දුකේ බෑ.

අනික් අතට පොත් දෙකක් තුනක් ගත්තම අතේ තියෙන රුපියල් 5000 ක් විතර අතුරුදහන් වෙලා. ඒත් උදේ 7 ට ගිහින් 9 මැරිල ආවම නින්ද මිස වෙන දෙයක් මතක් වෙන්නෙම නෑ. සමහර දවසට ඇඳේ හාන්සි වෙලා පිටුවක් දෙකක් කියවද්දි නින්ද ගිහින් පොත පපුව උඩට වැටිලයි අවදි වෙන්නේ. 

සමහරු නම් අැවිත් පොත් මිටි පිටින් උස්සන් යනව දැක්කම දුකේ බෑ. ඒවා කියවනවද දන්නේ නෑ. සමහරු නම් පොත් ගෙනියන්නේ සෝබනේට. මට මතකයි එක කෙල්ලෙක් අවුරුද්දකට රුපියල් පහලොස්දාහක නවකතා පොත් ගන්නව. අරන් තව ගානක් දීලා බයින්ඩ් කරල ලස්සනට තියනව. මට නම් ඒක මෝඩ වැඩක් කියලයි හිතෙන්නේ. අනික තමන් හම්බ කරපු සල්ලි නම් කමක් නෑ. ගෙදරින් ඉල්ල ගන්නෙ.

මම කොහොමත් එක පොතක් කියෙව්වම ආයිත් ඒක කියවන්න හිතෙන්නෙ අවුරුදු ගානකට පස්සෙ. මම කියන්නෙ කතා පොත් ගැන. ඒ නිසා පොත් සල්ලි වලට ගන්නවට වඩා පුස්තකාලෙකින් ගන්න එක මට හරියන්නෙ.  මම දැන් නම් e books වලට හුරු වෙලා. කැම්පස් ටියුට් ඒවා PDF නිසා පස්සෙ කාලෙක මට e books  රහ වැටුන. කියවන්නත් ලේසී. බස් එකක උනත් පිටු පෙරලන්න අත එහෙ මෙහෙ යවන්න ගිහින් එහා පැත්තෙ මනුස්සයගෙ ඇඟෙ වදින්නෙ නෑ. ඒත් ඇත්ත පොතක් කියවන feeling එක e books වලින් ගන්න බෑ. ඒකනේ මිනිස්සු මිටි පිටින් ගෙනියන්නෙ.


මේ දවස්වල මම කියවන්නෙ මේ පොත. ඔෆිස් එකෙන් අමාරුවෙන් වදෙන් පොරෙන් හොරෙන් උස්සන් ආවේ. දැන් සතියක් විතර උනා තාම කියවල ඉවර නෑ. මේ ටිකේ හරි කාර්යබහුල උනා.කොහොම හරි මම මේ පාරත් book fair යනව. හැබැයි මේ සැරේ නම් වෙනද වගේ නෙවෙයි මම පොත් ගනීවි. නවකතා නෙවෙයි අධ්‍යාපනික පොත් ටිකක් ඕන වෙලා තියෙනව තදින්ම.



Sunday, September 6, 2015

පොඩි හාමුදුරුවරුන්ගේ පොඩි ශ්‍රමදානය

 ඊයේ හවස ඔෆිස් එකෙන් එද්දී දැකපු දෙයක් මේ. වැඩි විස්තර හොයල බලත්දී දැනගත්තේ නේපාලේ ඉදන් ලු ඇවිත් තියෙන්නේ. ඒ රටට යන්න නෙවෙයි මෙහෙම ඉන්නලු. සිංහල වචනයක් වත් බෑ. ඉංග්‍රීසිත් බෑ. අනේ මන්ද නොදන්නා රටකට ඇවිත් මේ පොඩි හාමුදුරුවරු පන්සලේ ගේට්ටුව ලග පොඩි ශ්‍රමදානයක්. පාරේ යන ඔක්කොම නැවතී නැවතී බලනවා. පන්සල කොහෙද කියන්න නම් බෑ දේශපාලනේ සම්බන්ධ වෙන නිසා. මාත් ටිකක් බලන් ඉදල ෆොටෝ එකකුත් අරන් එන්න ආව.

Saturday, September 5, 2015

කහ මලී


අද උදේ මම ගෙදරින් එලියට එනකොට දැකපු දෙයක් මේ. මෙච්චර කල් මගේ ඇහැට අහුවෙන්නේ නැතුව තිබුනට අද අහු උනා. මොකක්ද මේ ? මට හිතා ගන්න බෑ..
හිටවපු එකකුත් නෙවෙයි ඉබේ වැවිල. ලස්සන මල් පිපිලා. පස්සේ හොයල බලනකොට දැනගත්තේ 'අබ' ගහක් කියල. අඹ නෙවෙයි අබ....! මටත් ඉන්න බැහැනේ. ගත්ත ෆොටෝ එකක්.  මේක නම් ගත්තේ Lumia 535 එකෙන්.

Thursday, September 3, 2015

බයිසිකල් ටයරය



මේක උනේ දවසක් ඔෆිස් එකේ වැඩකට එලියට ගිය වෙලාවේ. බලන්න හොදට මොකක්ද අවුල කියල 
ඇත්තටම සාධාරණයි මෙයා. බලන් ඉන්න අපිට නොතේරුනාට බයිසිකල් ටයර් එකක් වෙන කොහොමද ගෙනියන්නේ? මේකත් ගත්තේ මගේ පොඩි ෆෝන් එකෙන්ම තමයි.  සූම් කරන්න විදියක් තිබුනෙත් නැහැ. වාහනේ යන ගමන් වේගෙන් යන බයික් එකක් ෆොටෝ ගහන්න මගේ ෆෝන් එකට බැහැනේ. අපිට කොහෙන්ද ලොකු කැමරා ?