Saturday, October 31, 2015

තැපෑලයි මමයි

ලංකාවේ තැපැල් සේවය හා මා අතර ඇත්තේ එක්තරා විදියක ජන්මාන්තර වෛරයක් බව මට දැන් දැන් තේරෙන්නට පටන් ගෙන තියෙන්නේ. ලියුම් මාමා ගැන අමිහිරි අත්දැකීම් මගේ පාසල් ජිවිතේ 6 වසර දක්වා දිගු අතීතයක් තියෙනවා. දකුණු පළාතේ ඉපදුනු මම ශිෂ්‍යත්වෙන් පාස් වෙලා කොළඹ ඉස්කෝල දෙක තුනකට ඉල්ලුම් කරලා ගෙදරට වෙලා හිටිය ජොලියේ. අපේ ඉස්කෝලේ 5 වසරෙන් ඉවරයි. ඉතින් 6 වසරට යන්න වෙන ඉස්කෝලයක් ඕන. හොද ලකුණු තිබුන නිසා බය නැතිව හිටියට ජනවාරි මාසෙත් ගෙවිල ගියා. ම්හ් මුකුත් නෑ ලියුමක් වත්. දැන් පෙබරවාරි මාසෙත් ගෙවිල යන නිසා මගේ වයසේ උන් දැන් මාස දෙකක් 6 වසරේ ඉගෙන ගත්ත නිසා අන්තිමේ අම්මල තාත්තල එකතු වෙලා ලග තිබුන ඉස්කෝලෙකට ඔන්න බාර දුන්න. මෙන්න මාර්තු මාසේ පලවෙනි සතියේ එනවා ලියුමක්... ඔබ කොළඹ මේ විද්‍යාලයට තෝරාගෙන තියෙනවාය පෙබරවාරි මස 28 පෙර ඇවිත් ඇතුලත් වන්නය කියල. ලියුම එවල තියෙන්නේ පෙබරවාරි මාසේ මුල. ලියාපදිංචි තැපැල් ලියුමක්. මදැයි කොලා. අර ලස්සනට හදාගෙන තිබුන ලියන පොත් වල මුල් පිටු ටික ඉරලා පහුවෙනිදම ගියා ඉස්කෝලෙට. දෙයියන්ගේ පිහිටෙන් මාව ඇතුලත් කරගත්ත ඉස්කෝලේ විදුහල්පතිට පින් සිද්ද වෙන්න. එත් මාස තුනක් උගන්නපු දේ එක මාසෙන් ඉගෙන ගන්න උනා. අප්‍රේල් මුල විබාගේ නේ? අනේ ඉතින් ගමේ ඉස්කෝලේ හැමදාම 1 වෙච්ච මම ඒ විබාගේ ලියල 23 උනා. හොද වෙලාවට ළමයි 42 ක් හිටිය. 

ඒ කතාව ඇති. තව තියෙනවා. මට ජොබ් ඒවා ගොඩකට ලියුම් ආවේ ලියුම පොස්ට් වෙලා සති දෙකකට විතර පස්සේ. හැමදාම පහුවෙනිදා ඉන්ටවිව් එකට අද තමයි ලියුම ලැබෙන්නේ. ඉතින් දුවපන් සෙටිපිකට් ටික කරේ තියන් ෆොටෝ කොපි ගහල සත්‍ය පිටපතක් බව තහවුරු කරන්න. දවසක් දවල් එනවා ලියුම පහුවෙනිදට පොලිස් රිපෝර්ට් එකත් අරන් එන්න වැඩ බාරගන්න කියල. මට මතකයි එදා ගෙදර ආවේ මුළු දවල් වරුවම රස්තියාදු වෙලා පොලිසියේ වාඩි වෙලා ඉඳල හරියට අපරාධ කාරයෙක් වගේ. ලංකාවේ පොලිසියත් බොහොම කාර්යක්ෂමයි නොවැ . ඒ ගැන මට වෙච්ච දේවල් වෙනම ලියන්න වෙනවා ලියන්න ගියොත්. 

මේ දවස්වල දකින දෙයක් තමයි අපේ ඔෆිස් එකේ ලියුම් යවනකොට හදිසි ලියුමක් නම් යවන්නේ සාමාන්‍ය තැපෑලේ. මොකද ලියුම නැති වෙන්නේ නැතිව ඉක්මනට යවන්න තමයි එහෙම කරන්නේ. සිරාවට රෙජිස්ටර් කරපු ලියුමක් පොස්ට් කරලා ලැබෙන්න සති දෙකක් වත් යනවනේ. ඉතින් අර ලියුම ලැබෙන එකා කියනව ලියුම එව්වේ නෑ කියල. සමහරු ලියුම් යවල නෑ. එත් බොරුවට කියනවා මම එව්වා රෙජිස්ටර් පොස්ට් නිසා තව සතියක් වත් බලන්න කියල ඔන්න එදා තමයි පොස්ට් කරන්නේ. එකත් මාර චාන්ස් එක වැඩේ අමතක උනොත්. 

ඔන්න දැන් තමයි මම නියම කතාවට එන්නේ. මේ ලඟදි බ්ලොග් එකක ගොඩක්‌ ebay sellers ල ලංකාවට shipment නවත්තනවා කියල කතිකාවතක් ගියා. අවාසනාවට බ්ලොග් එක මතක නෑ. හැබැයි සිරාවටම එ්ක ලියල තිබුන. මම නම් කෙලින්ම ඇගිල්ල දික් කරන්නේ අපේ ලංකාවේ තැපැල් සේවයට. ඉස්සර ebay ඇනවුමක් order කරලා පහුවෙනි සතියෙම බඩු ඇවිත්. ඒකට දැන්.. අගෝස්තු මාසේ ඉදන් මේ වෙනකොට මට items 17 ක් එන්න තියෙනවා. තාම නෑ. එකක් හරි වරෙන්. එත් නෑ. 

කලිනුත් ඔහොම වෙලා මම ගියාම තැපැල් කන්තෝරුවට ඔක්කොම ටික යකඩ කබඩ් එකක් ඇතුලේ තිබිල යන්තම් හොයාගත්ත. මේ සැරෙත් ගියා half day එකක් දාල ටුක් එකට රුපියල් 150 කුත් දීල. කවුන්ටරේ නිදිමතේ වැටි වැටි හිටපු අපිරිසිදු ගෑනු මනුස්සයෙක් කිව්වා 

 "ඔයාලට ලියුම් බෙදන කරුණාසේන පහුගිය ටිකේ නිවාඩු. අද හිටියද මන්ද?. "

 මල පැනපු මම ගියා ඇතුලේ ලොක්කව බලන්න. 

 "උදේ 8 ට කලින් එන්න ඕන ලියුම් බලන්න නම්. මම දන්නේ නෑ ඕව" 

තමන්ගේ ආයතනේ වෙන දේවල් දන්නේ නැත්නම් මු ලොකු පුටුවේ වැඩි උනේ අහවල් දේටද කියල හිතින් බැනල එලියට ආව. දැන් දවස් තුනක් වෙනවා ගිහින් කරුණාසේන අද වෙනකන් නෑ. තව දවසක් නිවාඩු දාල උදේ 8 ට එතනට වෙලා රැකගෙන ඉන්න මට වෙන වැඩ නැහැනෙ.

ලංකාවේ තැපැල් සේවය බල්ලට ගිහින්. ගොඩක් පොස්ට් ඔෆිස් පිරිසිදුවට නෑ කුණු ගොඩවල්. අපි දකින්නේ ගරා වැටිච්ච දුවිලි පිරුන පරණ ගොඩනැගිල්ලක ඇතුලේ , ලෝකෙම එපා වෙලා වගේ ඉන්න වයසක මිනිස්සු ටිකක්. මට තේරෙන්නේ නැත්තේ තැපෑල වගේ ඉතාම වැදගත් ආයතනයක් මෙහෙම උනා කියල කාටවත් ගානක් නැත්තේ ඇයි කියල. ඇයි මේකට තරුණ මිනිස්සු ටිකක් යොදාගන්නේ නැත්තේ ? රස්සාවල් නැති තරුණ උගත් මිනිස්සු කොච්චර ඉන්නවද ? සොච්චම් පඩියට වැඩ කරන උගත් මිනිස්සු කෝච්චර ඉන්නවද? 


චීනේ ඉදන් ලංකාවට 3,914 km ක දුරක් ගෙවාගෙන දවස් දෙකෙන් තුනෙන් එන ලියුම ලංකාවේ කොළඹ වර්ග කිලෝමීටර 37 ඇතුලේ බෙදන්න මාසයක් යනවද? අනිත් අතට පරක්කු උනා කියල ලියුම් කාරය ගැන තරහ ගියාට මිනිහට බැනල වැඩක් නෑ. ඉහල ඉදන්ම හැදෙන්න ඕන ඕව.

උන් හිතුනොත් ලියුම් බෙදනවා නැත්නම් නිකන් ඉන්නවා.
අපිත් අවොත් ලියුම් ගන්නවා නැත්නම් බුම්මන් ඉන්නවා.

තව තව කතා තිබුනත් ඒවා කියල වැඩක් නෑ මගේ ලේ ටික පිච්චෙනවා.

Saturday, September 19, 2015

පොත් ප්‍රදර්ශණයයි මමයි.

source: http://files.stjohnofgodartane.com/200069093-5fc1061b5c/hug-club-clip-art-720.jpg

හැමෝම පොත් ප්‍රදර්ශණය ගැන ලියන එකේ මමත්  ලියන්න හිතුව ඒ ගැන. මුලින්ම මම ඒකට ගියේ මීට අවුරුදු හත අටකට කලින්. කරුමෙට ගියෙත් අන්තිම දවසේ. හොඳ පණ ගියා. අායිත් නම් අන්තිම දවසේ යන්නේ නැහැ කියන පළවෙනිම පාඩම ගිය පළවෙනිම දවසේ ඉගෙන ගත්තා.

ඊට පස්සේ හැම අවුරුද්දෙම  ගියා විතරක් නෙවෙයි සතියට දවස් දෙක තුනක් ගිහිපු අවුරුදුත් තිබුන. හැබැයි ඉතින් ගත්ත පොතක් නම් නෑ. මම නම් ගියේ පොත් ගන්නවට වඩා කාලෙකින් නොදැක්ක යාලුවෝ ටික එක්ක රවුමක් දාන්නයි , පොත් පිටින් බලන්නයි. ආහ් තව මැගී කන්නයි බීම බොන්නයි. මේ සැරේ මැගී නැතිව ඇති කියල හිතනවා. දන්නවනේ ඉතින් හේතුව මොකක්ද කියල.

ඇත්තම කිව්වොත් කන්න බොන්න විතරක් ලොකු ගානක් යනවා. පොත් ගන්න සල්ලි ඉතිරි වෙන්නේ නැහැ කාල බීල ඉවර උනාම. ඇයි අප්පේ යාළුවොන්ටත් අරන් දෙන්න වෙනවනේ. උනුත් මොකක් හරි මගුලක් මතක් කරලා උඹ අපිට පාර්ටි දුන්නේ නෑ කිව්වම අරන් දෙන්න වෙනවනේ. මාත් නිකන් ඉන්නෙ නෑ. චාන්ස් එකක් ආපු ගමන් උන්ගේත් දත් ගලවනවා. කොහොමින් කොහොම හරි උදේම ගිහින් රෑ වෙලා හිස් අතින් ඒනවා. ගත්ත පොතකුත් නෑ. පොත් නොගන්නේ ආස නැති නිසා නම් නෙවෙයි. කාලයක් තිබුන කන්නෙ බොන්නෙ නාන්නෙ නැතිව පොත් කියවපු. පබ්ලික් ලයිබ්‍ර‍රි එකේ උදේ ඉඳන් රෑ වෙනකන් පැල් බැඳන් පොත් කියවපු කාලයක් අපිටත් තිබුන කියල මතක් උනාම දුකේ බෑ.

අනික් අතට පොත් දෙකක් තුනක් ගත්තම අතේ තියෙන රුපියල් 5000 ක් විතර අතුරුදහන් වෙලා. ඒත් උදේ 7 ට ගිහින් 9 මැරිල ආවම නින්ද මිස වෙන දෙයක් මතක් වෙන්නෙම නෑ. සමහර දවසට ඇඳේ හාන්සි වෙලා පිටුවක් දෙකක් කියවද්දි නින්ද ගිහින් පොත පපුව උඩට වැටිලයි අවදි වෙන්නේ. 

සමහරු නම් අැවිත් පොත් මිටි පිටින් උස්සන් යනව දැක්කම දුකේ බෑ. ඒවා කියවනවද දන්නේ නෑ. සමහරු නම් පොත් ගෙනියන්නේ සෝබනේට. මට මතකයි එක කෙල්ලෙක් අවුරුද්දකට රුපියල් පහලොස්දාහක නවකතා පොත් ගන්නව. අරන් තව ගානක් දීලා බයින්ඩ් කරල ලස්සනට තියනව. මට නම් ඒක මෝඩ වැඩක් කියලයි හිතෙන්නේ. අනික තමන් හම්බ කරපු සල්ලි නම් කමක් නෑ. ගෙදරින් ඉල්ල ගන්නෙ.

මම කොහොමත් එක පොතක් කියෙව්වම ආයිත් ඒක කියවන්න හිතෙන්නෙ අවුරුදු ගානකට පස්සෙ. මම කියන්නෙ කතා පොත් ගැන. ඒ නිසා පොත් සල්ලි වලට ගන්නවට වඩා පුස්තකාලෙකින් ගන්න එක මට හරියන්නෙ.  මම දැන් නම් e books වලට හුරු වෙලා. කැම්පස් ටියුට් ඒවා PDF නිසා පස්සෙ කාලෙක මට e books  රහ වැටුන. කියවන්නත් ලේසී. බස් එකක උනත් පිටු පෙරලන්න අත එහෙ මෙහෙ යවන්න ගිහින් එහා පැත්තෙ මනුස්සයගෙ ඇඟෙ වදින්නෙ නෑ. ඒත් ඇත්ත පොතක් කියවන feeling එක e books වලින් ගන්න බෑ. ඒකනේ මිනිස්සු මිටි පිටින් ගෙනියන්නෙ.


මේ දවස්වල මම කියවන්නෙ මේ පොත. ඔෆිස් එකෙන් අමාරුවෙන් වදෙන් පොරෙන් හොරෙන් උස්සන් ආවේ. දැන් සතියක් විතර උනා තාම කියවල ඉවර නෑ. මේ ටිකේ හරි කාර්යබහුල උනා.කොහොම හරි මම මේ පාරත් book fair යනව. හැබැයි මේ සැරේ නම් වෙනද වගේ නෙවෙයි මම පොත් ගනීවි. නවකතා නෙවෙයි අධ්‍යාපනික පොත් ටිකක් ඕන වෙලා තියෙනව තදින්ම.



Sunday, September 6, 2015

පොඩි හාමුදුරුවරුන්ගේ පොඩි ශ්‍රමදානය

 ඊයේ හවස ඔෆිස් එකෙන් එද්දී දැකපු දෙයක් මේ. වැඩි විස්තර හොයල බලත්දී දැනගත්තේ නේපාලේ ඉදන් ලු ඇවිත් තියෙන්නේ. ඒ රටට යන්න නෙවෙයි මෙහෙම ඉන්නලු. සිංහල වචනයක් වත් බෑ. ඉංග්‍රීසිත් බෑ. අනේ මන්ද නොදන්නා රටකට ඇවිත් මේ පොඩි හාමුදුරුවරු පන්සලේ ගේට්ටුව ලග පොඩි ශ්‍රමදානයක්. පාරේ යන ඔක්කොම නැවතී නැවතී බලනවා. පන්සල කොහෙද කියන්න නම් බෑ දේශපාලනේ සම්බන්ධ වෙන නිසා. මාත් ටිකක් බලන් ඉදල ෆොටෝ එකකුත් අරන් එන්න ආව.

Saturday, September 5, 2015

කහ මලී


අද උදේ මම ගෙදරින් එලියට එනකොට දැකපු දෙයක් මේ. මෙච්චර කල් මගේ ඇහැට අහුවෙන්නේ නැතුව තිබුනට අද අහු උනා. මොකක්ද මේ ? මට හිතා ගන්න බෑ..
හිටවපු එකකුත් නෙවෙයි ඉබේ වැවිල. ලස්සන මල් පිපිලා. පස්සේ හොයල බලනකොට දැනගත්තේ 'අබ' ගහක් කියල. අඹ නෙවෙයි අබ....! මටත් ඉන්න බැහැනේ. ගත්ත ෆොටෝ එකක්.  මේක නම් ගත්තේ Lumia 535 එකෙන්.

Thursday, September 3, 2015

බයිසිකල් ටයරය



මේක උනේ දවසක් ඔෆිස් එකේ වැඩකට එලියට ගිය වෙලාවේ. බලන්න හොදට මොකක්ද අවුල කියල 
ඇත්තටම සාධාරණයි මෙයා. බලන් ඉන්න අපිට නොතේරුනාට බයිසිකල් ටයර් එකක් වෙන කොහොමද ගෙනියන්නේ? මේකත් ගත්තේ මගේ පොඩි ෆෝන් එකෙන්ම තමයි.  සූම් කරන්න විදියක් තිබුනෙත් නැහැ. වාහනේ යන ගමන් වේගෙන් යන බයික් එකක් ෆොටෝ ගහන්න මගේ ෆෝන් එකට බැහැනේ. අපිට කොහෙන්ද ලොකු කැමරා ?

Sunday, August 30, 2015

බස් හෝල්ට් එකේ අක්කා


පරණ සිද්ධියක් මතක් වුනා පරණ ෆොටෝස් බලනකොට. මේක සිද්ධ උනේ 2013 අවුරුද්දේ. ඔෆීස් එකේ ඉදන් පාරේ එහාපැත්තෙ කඩේට ගියා මොකක්ද ගන්න ඕන වෙලා. කඩේ ළඟමයි බස් හෝල්ට් එකත් තිබුනේ. නිකමට වගේ මම බස් හෝල්ට් එකේ බෝර්ඩ් එක දිහා බලපු මට එක සැරේට හිතුනේ බෝර්ඩ් එකේ ඉන්නේ ඇත්තම කෙල්ලෙක් කියල. තප්පර කිහිපයක් ගියා මට ඇත්ත තේරුම් ගන්න. වට  පිට බැලුව. කවුරුත් නෑ. ගත්ත මගේ ෆෝන් එක. ගැහුවා ෆොටෝ එකක්. මට තාමත් හිනා ඒක බලනකොට. පස්සේ මම හෝල්ට් එක වටෙන් නිකන් ඔලුව දාගෙන යද්දී දැක්කේ කෙල්ල මලක් කඩනවා කියල.  ඒ දවස් වල මගේ ලග තිබුනේ sony xperia tipo dual  ෆෝන් එකක්. 3MP Camera එකක් තිබුනේ. හැබැයි අපරාදේ කියන්න බැහැ පොඩි උනාට ගොඩක් වැඩ ගත්ත. ;)

පළමු ලිපිය

බ්ලොග් එකක් ලියන්න ආසාව තිබුනේ පොඩි කලේ ඉඳන්. ගොඩක් කලකට ඉහතදී බ්ලොග් එකක් ලිව්වා. පෙර තිබුන කාර්යබහුල බව අඩු වෙලා තිබුන  නිසාත් අලුතෙන් දෙයක් පටන් ගන්න ඕන කියල හිතුන නිසාත් ඔන්න අයිත් මම පරණ ජීවිතේට එන්න ඕන කියල හිතුව. නෙතින් දුටු ලෝකය කියල දැම්මේ එක දෙයකට කොටු නොවී එදිනෙදා ලෝකය ගැන හිතෙන අත්දකින දේවල් නිදහසේ ලියන්න ඕන නිසා.